කොළඹ වරායේ නැංගුරම් ලා තිබූ බහාලුම් නෞකාවකට පැටවූ හිස් බහාලුමක සැඟවී මැලේසියාවට පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු චීනයේදී අත්අඩංගුවට පත්ව වසරකට පසුව යළි මෙරටට පිටුවහල් කර තිබෙනවා.
මෙලෙස පිටුවහල් කළ දෙදෙනා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
2023 ජනවාරි 30 වන දා කොළඹ වරායේ CICT ජැටියේ නැංගුරම්ලා තිබූ නෞකාවක පටවා තිබූ හිස් කන්ටේනරයකට නැගී මොවුන් එම නෞකාවෙන් රහසිගත ලෙස මැලේසියාවට පැනයෑමට උත්සහ දරා තිබේ.
නෞකාව මැලේසියාවට යාමෙන් පසු මොවුන් එරට ආරක්ෂක අංශවලට කොටු වී ඇතත් එම නිලධාරීන් මෙම දෙදෙනාට මැලේසියාවට ඇතුළු වීමට අවසර ලබා නොදුනි.
පසුව යළි පැමිණි නැවට ම නැගගත් මොවුන් නෞකාව ගමන්ගත් රටවල් කිහිපයකට ම ඇතුළු වීමට උත්සහ ගත්ත ද ඒ සියල්ල අසාර්ථක වී තිබේ.
නෞකාව අවසානයේ චීනයේදී ගමනාන්තය නිමකර ඇති අතර චීනයේදී එරට ආරක්ෂක බලධාරීන් මොවුන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
ඉන් අනතුරුව මේ බව මෙරට රජයට ද දැනුම්දීමෙන් පසු මොවුන් දෙදෙනා චීනයේ ෂැංහයි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් UL867 දරන ගුවන් යානයෙන් මෙරටට එවා ඇත.
කටුනායක ගුවන්තොටුපොළට මොවුන් පැමිණීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් විමර්ශන සමුද්‍රිය අපරාධ පරීක්ෂණ කොට්ඨාසය වෙත මොවුන් භාර දී තිබේ.