පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාස සදහා ලබාදී ඇති විදුලි සම්බන්ධතාවලින් රුපියල් මිලියන 16ක මුදලක් පසුගිය වසර අවසන් වන විට අයකරගෙන නොමැති බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එලෙස විදුලි සම්බන්ධතා 74 ක් සදහා වන ගෙවීම් පැහැර හැර ඇති බවයි එම දෙපාර්තමේන්තුව 2022 වර්ෂයට අදාළව නිකුත් කළ නවතම වාර්තාවල දැක්වෙනේ.
එම විදුලි සම්බන්ධතා 74 න් 29 කට අදාළව රුපියල් මිලියන 05 ක මුදලක් වසර 06 ක කාලයක් පුරා අයකර ගෙන නොමැති බවද සදහන්.
එමෙන්ම ඉන් තවත් සම්බන්ධතා 30 කට අදාළව රුපියල් මිලියන 03ක් වසරකට වැඩි කාලයක් අයකරගෙන නොමැති බවටයි අනාවරණය වී ඇත්තේ.
එමෙන්ම 2022 වර්ෂය සඳහා නිසි අනුමැතියකින් තොර ව විදුලිබල මණ්ඩල සේවකයන් සඳහා ඉංජිනේරු දීමනා, දිරි දීමනා හා තාවකාලික දීමනා වෙනුවෙන් රුපියල් මිලියන 418 ක් වැය කර ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙනවා.
මේ අතර රජයේ රෝහල් සඳහා නිකුත් කළ වෛද්‍ය සැපයුම් අතරින් රුපියල් මිලියන 349ක් වටිනා ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය 2022 වර්ෂයේ දී භාවිතයෙන් ඉවත් කර ඇති බවටද අනාවරණය වනවා.
මීට අමතරව රුපියල් මිලියන 32ක් වටිනා ඖෂධ තත්ත්වයෙන් අසමත් වීම මත පසුගිය වසර තුළ තාවකාලිකව භාවිතය අත්හිටුවා ඇති බවද විගණකාධිපති දෙපාර්තමේන්තුව පවසනවා.
ඖෂධ, ශල්‍ය හා රසායනාගාර ද්‍රව්‍ය තත්ත්වයෙන් අසමත් වීම මත එලෙස භාවිතයෙන් ඉවත් කර ඇති බවයි විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ වාර්ෂික වාර්තාවේ දැක්වෙන්නේ.