සුළි කුණාටුව නිසා දරුවන් 73 කට මව, පියා හෝ දෙදෙනාම අහිමි වෙයි

දිට්වා සුළි කුණාටුවේ බලපෑමෙන් සිදුවූ ජලගැලීම් හා නායයෑම් අතුලු‍ ආපදා හේතුවෙන් මව, පියා හෝ එම දෙදෙනාම අහිමිවූ දරුවන් 73 දෙනෙකු පිළිබඳ මේ වන විට වාර්තා වනවා.

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ඉන් වැඩිම පිරිස බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර එම සංඛ්‍යාව 21 ක් බවයි.

ඊට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් ද 20 දෙනෙකු සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වී ඇති අතර කෑගල්ල හා නුවරඑළිය දිස්ත්‍රික්කවලින් ද එවැනි දරුවන් වැඩි වශයෙන් වාර්තා වී ඇති බවයි සඳහන්.

මේ අතර ආපදා තත්ත්වය හමුවේ මව්පියන් මියගොස් අනාරක්ෂිත භාවයට පත්ව සිටින දරුවන්ගේ තොරතුරු ලබා ගැනීමේ ප්‍රවණතා සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ දුරකතන අංක ප්‍රසිද්ධ කරමින් ඔවුන් අදාළ දරුවන්ගේ තොරතුරු ලබාගන්නා බවයි.

අදාළ පුද්ගලයින් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය කියා සිටියා.

අදාළ දරුවන් සුරක්ෂිතව පෝෂණය කිරීමේ හෝ හදාවඩා ගැනීමට යම් තැනැත්තෙකුට සද්භාවයෙන් අවශ්‍ය නම් ශ්‍රී ලංකාවේ දැනට බල පැවැත්වෙන සාමාන්‍ය පොදු නීතිය යටතේ දිසා අධිකරණයේ නඩු කටයුත්තක් ආරම්භ කිරීමෙන් පසු එම කටයුතු ඉටුකරගත හැකිවනු ඇති බව ද පොලිසිය පෙන්වා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *