දිනකට නිකුත් කරන පාස්පෝර්ට් සංඛ්‍යාව 4000 දක්වා ඉහළට

වත්මන් රජය බලයට පත්වන විට දිනකට නිකුත් කළ 1200ක් පමණ වූ විදෙස් ගමන් බලපත්‍ර සංඛ්‍යාව 4000ක් දක්වා ඉහළ නැංවීමට පියවර ගත් බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු ඇමැති ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (20) පැවසීය.

මේ වර්ෂයේ පෙබරවාරි මස 18 වැනිදා සිට ආගමන විගමන දෙපාර්තමේන්තුව පැය 24ක සේවාවක් ක්‍රියාත්මක කර ඇති බවත් විදසේ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක බවත් ඇමැතිවරයා පැවසුවේය.

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා වාචිකව ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

හදිසි විදෙස් ගමන් බලපත්‍ර අවශ්‍යතාවක් පවතින්නේ නම් එක්දින සේවාවෙන් අදාළ බලපත්‍රය ඉල්ලුම් කළ හැකි බවද ඇමැතිවරයා පැවසුවේය. නව විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා දිනකට අයදුම්පත් 3000ක් පමණ ලැබෙන බවත් බලපත්‍ර ලබා ගැනීමට අයදුම්පත් 356,714ක් මේ වන විට ලැබී ඇති බවත් ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

විදසේ ගමන් බලපත්‍ර හිඟය නිසා පසුගිය ආණ්ඩුව කාලයේ සිට මෙම බලපත් නිකුත් කිරීම ප්‍රමාදව පැවැති බවත් විදෙස් ගමන් බලපත් හිඟය නිසා 349,483ක් අයදුම්පත් ලැබූ තිබූ අතර ඉන් 303,483ක් නිකුත් කර ඇති බවත් ඇමැතිවරයා පැවසුවේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *