දේශපාලන වාසි ගන්න අධි-ප්‍රචාරණය කළ නිසා, දළදා දැක්ම මහා ව්‍යසනයක් වුණා – ගම්මන්පිල

දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ කිරීමට අධි-ප්‍රචාරණයක් සිදු කිරීම හරහා, සැදැහැබරින් සිදුවිය යුතු සිරි දළදා දැක්ම මහා ව්‍යසනයක් බවට පත් වූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.

අධි-ප්‍රචාරණය ව්‍යාපෘතියට අවාසිදායක දෙයක් මිස වාසිදායක දෙයක් නොවන බව 09 ශ්‍රේණිය සමත් ඕනෑම අයෙක් දන්නා බවත්, නමුත් පළාත් පාලන මැතිවරණයේදී වාසි ලබා ගැනීමට ආණ්ඩුවට බෞද්ධකමක් ආරෝපණය කරගනිමින් දේශපාලන වාසි ලබා ගැනීමට උත්සාහ දරා ඇති බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළා.

එහි ප්‍රතිඵලයක් ලෙස හය දෙනෙක් මියගොස් 500කට ආසන්න ප්‍රමාණයක් රෝහල්ගත කිරීමට ද සිදුවූ බවත්, නමුත් කොටි ත්‍රස්තවාදය පැවති කාල වකවානුවේ දී පවා දළදා ප්‍රදර්ශන 04 ක් පවත්වා ඇති බවත්, එම කිසිඳු අවස්ථාවක ජීවිත බිලි ගැනීමක් සිදු නොවු බවත් ඔහු මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කළා.

නමුත්, මෙවර කිසිඳු ත්‍රස්තවාදී සංවිධානයක බාධාවක් නොතිබූ පසුබිමක, සංවිධානයේ ඇති දුර්වලතාව හේතුවෙන් ජීවිත 06 ක් පූජා කිරීමට සිදුවූ බවත්, එසේම සංවිධානයේ ඇති දුර්වලතා හේතුවෙන් පැමිණි ජනතාවට ප්‍රමාණවත් පරිදි වැසිකිළි පහසුකම් නොලැබුණ බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස බෝතල්වලට මුත්‍රා සහ මලපහ කිරීමට ජනතාව පෙළඹුනු බවයි ඔහු ප්‍රකාශ කළේ.

මේ හේතුවෙන් නුවර වැව බේරේ වැවක් බවට පත්වනු ඇති බවත්, නුවර විශාලා මහනුවරක් බවට පත්වනු ඇති බවත් ඔහු පැවසුවා.

ආණ්ඩුවට සිතාගෙන සිටින්නේ ඔවුන් තවම සිටින්නේ විපක්ෂයේ බව යැයි ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල වැඩිදුරටත් ප්‍රකාශ කළා.

Source – Helakuru

Leave a Reply

Your email address will not be published. Required fields are marked *