හානිවූ කර්මාන්ත යළි අරඹන්න ලක්ෂ 2 මේ සතියේම ලබා දෙනවා – කර්මාන්ත නියෝජ්‍ය ඇමති චතුරංග අබේසිංහ

හදිසි ආපදා තත්ත්වය නිසා හානිවූ කර්මාන්ත නැවත ආරම්භ කිරී­මට ලබා­දෙන ලක්ෂ දෙකක සහන මුදල මෙම සති­යේ­දීම ප්‍රාදේ­ශීය ලේකම් කාර්යාල හරහා ලබා­දීම අර­ඹන බව කර්මාන්ත හා ව්‍යව­සා­ය­කත්ව නියෝජ්‍ය අමාත්‍ය චතු­රංග අබේ­සිංහ මහතා පැව­සීය.

ව්‍යාපා­ර­ව­ලට භෞතික හානි­යක් සිදුවී ඇත්නම් සහ ගොඩ­නැ­ඟිලි හානි­යක් සිදුවී ඇත්නම්, එම හානිය ප්‍රති­පූ­ර­ණය කිරී­මට රුපි­යල් ලක්ෂ 50ක ප්‍රති­පා­ද­න­යක් වෙන් කෙරෙන බව ද නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා සඳ­හන් කළේය. ආපදා තත්ත්වය හේතු­වෙන් හානි වූ කර්මාන්ත පිළි­බ­ඳව රජය ගෙන යන වැඩ­පි­ළි­වෙළ සම්බ­න්ධ­යෙන් මාධ්‍ය හමුවේ ඊයේ (10) අද­හස් දක්ව­මින් නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා මේ බව සඳ­හන් කළේය.

මෙහිදී අද­හස් දැක් වූ නියෝජ්‍ය අමා­ත්‍ය­ව­රයා,

“කර්මාන්ත අමා­ත්‍යාං­ශය වශ­යෙන් අපේ ප්‍රමුඛ කාර්ය වන්නේ ආප­දාව නිසා අක­ර්මණ්‍ය වූ, තාව­කා­ලි­කව යට­ගිය කර්මාන්ත නැත්නම් නිෂ්පා­දන ආර්ථි­කය නැවත වේග­යෙන් පණ ගන්වන්නේ කොහොම ද කියන එකයි.

ආප­දා­වට පත්වූ කර්මා­න්ත­වල තොර­තුරු රැස් කරන්න කර්මාන්ත අමා­ත්‍යාං­ශය විදි­හට අපි, පසු­ගිය සතියේ ඉඳලා දැවැන්ත උත්සා­හ­යක යෙදී සිටි­නවා. අපේ නිල­ධා­රීන්ගේ මහ­න්සි­යත් මහ­ජ­න­තා­වගේ උන­න්දු­වත් එක්ක දත්ත ප්‍රමා­ණ­යක් අපට එකතු වෙලා තියෙ­නවා. විශේ­ෂ­යෙන්ම කර්මාන්ත සහ නිෂ්පා­දන ආය­තන ව්‍යාපාර 4,860ක පමණ දත්ත අපට මේ වෙන­කොට එකතු වෙලා තිබෙ­නවා. එම දත්ත ප්‍රමා­ණ­වත් මදි. ඊට වඩා වැඩි කර්මාන්ත ප්‍රමා­ණ­යක්, ව්‍යාපාර ප්‍රමා­ණ­යක් මේ අර්බු­ද­යට ලක්වුණා කියන අව­බෝ­ධ­යෙන් අප තව­දු­ර­ටත් මේ ක්‍රියා­ව­ලිය කාර්ය­ක්ෂම කරලා තියෙ­නවා.

රජය විසින් ප්‍රති­ප­ත්ති­මය තීර­ණ­යක් විදි­හට මේ ව්‍යස­න­යෙන් අර්බු­ද­යට ලක් වූ ලියා­ප­දිංචි සෑම කර්මා­න්ත­ය­ක­ටම රුපි­යල් ලක්ෂ දෙකක මූලික ආධා­ර­යක් ලබා­දී­මට සූදා­න­මින් සිටි­නවා. එම ආධාර මුදල ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ලය හරහා මේ සතිය ඇතු­ළත ගෙවන්න බලා­පො­රොත්තු වෙනවා.

ඔබගේ ව්‍යාපා­ර­යට භෞතික හානි­යක් වෙලා තියෙ­නවා නම්, ගොඩ­නැ­ඟිලි හානි­යක් වෙලා තියෙ­නවා නම්, එම හානිය ප්‍රති­පූ­ර­ණය කිරී­මට ලක්ෂ 50ක ප්‍රති­පා­ද­න­යක් වෙන් කෙරෙ­නවා.

මේ සඳහා අපට විශේ­ෂ­යෙන්ම තොර­තුරු අව­ශ්‍යයි. දත්ත විදි­හට කිවු­වොත් මේ වෙන­කොට 4,860ක ව්‍යාපා­රික ප්‍රමා­ණ­යක් පද්ධ­ති­යට දත්ත එකතු කරලා තියෙ­නවා. ක්ෂුද්‍ර ව්‍යාපාර 1,874ක්, කුඩා ව්‍යාපාර 1,735ක්, මධ්‍යම ව්‍යාපාර 1,059ක්, මහා පරි­මාණ ව්‍යාපාර 192ක් ආප­දා­වට ලක්ව තිබෙ­නවා. දැන­ට­මත් නැවත ව්‍යාපාර කට­යුතු ආරම්භ කර ඇති ව්‍යාපාර ගණන 122ක් වනවා.

මෙම සතිය ඇතු­ළත ව්‍යාපාර කට­යුතු ආරම්භ කළ හැකි බවට තොර­තුරු ලබාදී ඇති ව්‍යාපාර ගණන 147ක්. ඉතිරි මාසය සහ මාස තුන ඇතු­ළත ව්‍යාපාර කට­යුතු කර­ගැ­නී­මට විශ්වා­සය ඇති ව්‍යාපාර ගණන 131ක්. වැඩිම තොර­තුරු වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රි­ක්ක­යෙන්.

මේ සඳහා කර්මාන්ත හිමි­යන් විසින් www.industry.gov.lk වෙබ් අඩ­විය හරහා හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේ­ශීය ලේකම් කාර්යා­ල­වල සිටින ව්‍යව­සා­ය­කත්ව සංව­ර්ධන, කුඩා ව්‍යාපාර සංව­ර්ධන, අප­න­යන සංව­ර්ධන හා ඵල­දා­යිතා ප්‍රව­ර්ධන හා ලංකා කාර්මික සංව­ර්ධන මණ්ඩ­ලය යන ආය­ත­න­වල නිල­ධා­රීන් හරහා අය­දු­ම්පත් යොමු කිරීම දෙසැ­ම්බර් මස 16 වැනි දින පස්වරු 2.00ට පෙර සිදු කළ යුතුයි.

මෙම ක්‍රියා­ව­ලි­යට පරි­බා­හි­රව ඔබ යම්කිසි රක්ෂණ සමා­ග­ම­කට සම්බන්ධ වෙලා රක්ෂණ ආව­ර­ණ­යක් ලබා­ගෙන තිබෙ­නවා නම් එම රක්ෂණ ආව­ර­ණ­යට අවශ්‍ය කරන කට­යුතු කඩි­න­මින් ආරම්භ කරන්න. එය ලබා­ගැ­නී­මට කර්මාන්ත අමා­ත්‍යාං­ශය මැදි­හත් වෙනවා.

මේ අර්බු­ද­යට ලක්වීම නිසා ඔබේ ව්‍යාපාර අඩ­පණ වීම නිසා ඔබේ මුදල් ප්‍රවාහ ප්‍රකා­ශ­වල ගැටලු ඇති. මේ වෙන­කොට ආදා­යම් බදු දෙපා­ර්ත­මේ­න්තුව බදු ලිපි­ගොනු ඇතු­ළත් කරන්න දෙසැ­ම්බර් 31වැනිදා දක්වා කාලය ලබාදී තිබෙ­නවා. මෙම ගැටලු නිරා­ක­ර­ණ­යට රජය පූර්ණ සහ­යෝ­ගය ලබා දෙනවා.“

Leave a Reply

Your email address will not be published. Required fields are marked *