අප‌ට කහකඩයා, තට්ටයා,මුඩු මහණා කියනවා – පූජ්‍ය දඹර අමිල හිමි

වර්තමාන රජය මාක්ස්වාදය කරපින්නාගත් පිරිසක් බවත්, ඔවුන් ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජය කොමියුනිස්ට් රාජ්‍යයක් බවට පත් කරමින් ආගම් අහෝසි කිරීමට උත්සාහ කරන බවත් පූජ්‍ය දඹර අමිල හිමියන් පවසනවා.

අද (16) පැවති ප්‍රවෘත්ති සාකාච්ඡාවකට එක්වෙමින් උන්වහන්සේ කියා සිටියේ, මෙම තත්ත්වයට එරෙහිව සියලුම නිකායන් නියෝජනය කරන මහා සංඝරත්නය ලබන 20 වැනි සිකුරාදා කොළඹ බෞද්ධ සම්මේලන මධ්‍යස්ථානයට රැස්වන බවයි.

නූතන තාක්ෂණය සහ සමාජ මාධ්‍ය භාවිතා කරමින් සමස්ත ශාසනයටම සහ භික්ෂූන් වහන්සේලාට එරෙහිව දැවැන්ත අපහාසාත්මක ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බව උන්වහන්සේ මෙහිදී පෙන්වා දුන්නා.

භික්ෂූන් වහන්සේලාට කහකඩයා, තට්ටයා, මුඩු මහණා වැනි විවිධ නම්වලින් අපහාස කරමින් ජෙන්සී (Gen Z) පරපුරේ තරුණ තරුණියන් නොමඟ යැවීමට කටයුතු කරන බවත්, ලංකා ඉතිහාසයේ කිසිදාක ශාසනයට මෙවැනි ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක් නොතිබූ බවත් උන්වහන්සේ සඳහන් කළා.

වර්තමාන පාලකයින් පන්සලට නොයන, ආගමික කටයුතුවලට සම්බන්ධ නොවන පිරිසක් බවත්, ජනතා විමුක්ති පෙරමුණේ භික්ෂු අංශයේ හිටපු ප්‍රධානියා ලෙස තමන් ඔවුන්ගේ ක්‍රියාකලාපය හොඳින් දන්නා බවත් උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඔවුන් භික්ෂු සිවුර භාවිතා කරන්නේ ශාසන ප්‍රවර්ධනයට නොව බලය ලබාගැනීමට බවත්, චීනය, රුසියාව, කියුබාව සහ උතුරු කොරියාව වැනි රටවල සිදුවූවාක් මෙන් මෙරට ආගම් අහෝසි කිරීමේ හෝ තහනම් කිරීමේ අවදානමක් පවතින බවත් උන්වහන්සේ අනතුරු ඇඟවූවා.

ලබන 20 වැනිදා පැවැත්වෙන මෙම හමුව සඳහා සියම්, අමරපුර සහ රාමඤ්ඤ යන ත්‍රිනිකායේම මහා නායක, අනුනායක හිමිවරුන් ඇතුළු දහස් සංඛ්‍යාත මහා සංඝරත්නය වැඩම කිරීමට නියමිතයි.

මෙය රජයට කෙරෙන අනතුරු ඇඟවීමක් මෙන්ම රජයට නිකුත් කරන “ආඥාවක්” බවත්, රජයට හිතුමතේ දේවල් කිරීමට ඉඩ නොදෙන බවට සංඥාවක් ලබාදීම මෙහි අරමුණ බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළා.

මෙම අවස්ථාව ලබාදීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු රජයට සිය ගෞරවය පිරිනමන බවද උන්වහන්සේ මෙහිදී පවසා සිටියා.

උන්වහන්සේ වැඩිදුරටත් කියා සිටියේ,

“මීට කලිනුත් ආණ්ඩු තිබුණා. යම්යම් අඩුපාඩුකම් හැම ආණ්ඩුවකම දකින්න තියෙනවා. බුදුන් වහන්සේ දේශනා කලා වගේ අඩුපාඩු නැති කිසිවෙක් නෑ. නමුත් රාජ්‍යක් හැටියට අපි අපේම ඡන්දයෙන් පත්කර ගත්ත, රටේ ජනතාවගේ ඡන්දයෙන් පත්කර ගත්ත ආණ්ඩුවක් ලංකා ඉතිහාසයේ කිසිදාක තිබිලා නෑ මේ තරම් ඉලක්ක කොට සමස්ථ ශාසනයටම ප්‍රහාර එල්ල කරන ආණ්ඩුවක්”

උපුටා ගැනීම – නිව්ස් 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *