තම පෙම්වතිය ජංගම දුරකථන ඇමතුමකට ප්‍රතිචාර නොදැක්වූවැයි කළකිරීමට පත් තරුණ පෙදරේරුවකු ගෙල වැළලාගෙන දිවි නසා ගැනීම සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් අරඹා තිබේ.
ඉකුත් 12 වැනිදා මෙලෙස දිවි නසාගෙන ඇත්තේ උඩුපුස්සැල්ලාව, ඉහළ කොටස පදිංචිව සිටි මහේෂ්වරන් සරත් කුමාර් නමැති 27 හැවිරිදි තරුණයෙකි. මීට මාස කීපයකට උඩදී ඔහු හෝමාගම, ගලවිලවත්ත ප්‍රදේශයේ ඉදි කරමින් පවතින දෙමහල් නිවසක පෙදරේරුවකු ලෙස සේවයට පැමිණ තිබේ. පසුව ඔහු සිය සේවා කටයුතු නිමකර පෙම්වතියට දුරකථන ඇමතුම් කීපයක් කීප වතාවක්ම ලබාගෙන තිබේ. එහෙත් ඇය එම ඇමතුම්වලට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් දැඩි ලෙස කළකිරී විදුලි පංකාවකට ලණුවක් ගැට ගසා ගෙල වැළලාගෙන දිවි නසාගෙන ඇතැයි හෙළිවූ බව පොලිසිය පවසයි.
මෙම තරුණයා තම පෙම්වතියට ගෙල වැළලා ගැනීමට සූදානම් වන අයුරු දැක්වෙන ඡායාරූප හා කෙටි පණිවිඩ කීපයක් යවා ඇතැයි හෙළිවූ බව පොලිසිය කියයි.
මියගිය තරුණයාගේ මරණ පරීක්ෂණය හෝමාගම අතිරේක මරණ පරීක්ෂක මානෙල් ගමගේ මහත්මිය විසින් සිදුකළ අතර පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිනී ධම්මි ලුවිස් හේවා මහත්මිය විසින් සිදු කළාය. මේ පිළිබඳව හෝමාගම මූලස්ථාන ප්‍ර.පො.ප. ප්‍රනීත් මානවඩු මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.