දේශබන්දු තෙන්නකෝන් මහතා, 2002 අංක 5 දරන නිලධරයන් ඉවත් කිරීමේ (කාර්ය පටිපාටිය) පනතේ 17 වගන්තිය ප්‍රකාරව පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන යෝජනා සම්මතය පිළිබඳ විවාදය අද (05) පැවැත්වේ. ඒ අනුව අද පෙ.ව 11.30 සිට ප.ව 4.00 දක්වා මීට අදාළ විවාදය පැවැත්වීමට නියමිත අතර, ප.ව 4.00ට අදාළ ඡන්ද විමසීම සිදුකිරීමට නියමිත වේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයෙන් ඉවත් කිරීම සඳහා වන මෙම යෝජනාව සම්මත වීමට නම් පාර්ලිමේන්තුවේ නොපැමිණි මන්ත්‍රීවරුන් ද ඇතුළුව මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් බහුතරයක් මන්ත්‍රීවරුන් මෙම යෝජනා සම්මතයට පක්ෂව ඡන්දය භාවිත කළ යුතුවේ.
එලෙස මෙම යෝජනාව සම්මත වීමෙන් පසුව දේශබන්දු තෙන්නකෝන් මහතා අප්‍රමාදව ධුරයෙන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයාට දැනුම්දීමට කටයුතු කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ප්‍රකාශ කළේය.
මේ සම්බන්ධයෙන් පත්කළ පරීක්ෂණ කමිටුවේ වාර්තාව පසුගිය ජූලි 22 වැනිදා කථානායකවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
ඒ අනුව, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එම ධුරයෙන් ඉවත් කිරීම සඳහා ඉදිරිපත් කළ චෝදනාවලට ඔහු වැරදිකරු බවට පරීක්ෂණ කමිටුවේ සාමාජිකයන් ඒකමතිකව තීරණය කර ඇති බව කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
ඒ අනුව අදාළ වාර්තාව විශේෂ පරික්ෂණ කමිටුව විසින් කථානායකවරයා වෙත භාර දීමෙන් පසුව පාර්ලිමේන්තු කටයුතු සභාව රැස්වී තීරණය කළ පරිදි අද දිනයේ දී විවාදය පැවැත්වීමට තීරණය කෙරිණ, ඒ අනුව අදාළ විවාදය අද දිනයේ දී පැවැත්වීමෙන් පසුව ඊට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදුකිරීමට නියමිත වේ. දේශබන්දු තෙන්නකෝන් මහතා වෙත එල්ල කරන ලද චෝදනා සම්බන්ධයෙන් විමර්ශනය කළ විශේෂ පරික්ෂණ කමිටුව ලබාදුන් වාර්තාවේ මෙසේද සඳහන් කර ඇත.
“මෙම වාර්තාවේ දක්වා ඇති හේතු නිසා කමිටුව නිගමනය කර ඇත්තේ වගඋත්තරකාර පොලිස්පතිගේ ඉල්ලීම පරිදි ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වාගේ කණ්ඩායම W15 හෝටලයට වෙඩි තැබීමට වැලිගමට ගිය බවයි. රටේ පොලිස්පතිවරයා එවැනි භයානක, නීති විරෝධී ක්‍රියාවන්ට පහසුකම් සපයනු ඇතැයි කිසිවකුට සිහිනෙන්වත් සිතිය නොහැකි විය. ශ්‍රී ලංකා පොලිසියට අයත් T56 අවියකින් පෞද්ගලික හෝටලයකට වෙඩි තැබීමේ ක්‍රියාව, ඒ සඳහා ශ්‍රී ලංකා පොලිසියට අයත් වෑන් රථයක් භාවිත කිරීමේ ක්‍රියාව, එම නීති විරෝධී වෙඩි තැබීමේ ක්‍රියාවෙහි යෙදීමට ඔහු අණදෙන බලය ක්‍රියාත්මක කළ ශ්‍රී ලංකා පොලිසියේ නිලධාරීන් යොදවා ගැනීමේ ක්‍රියාව, අනාරක්ෂිත පුරවැසියකුගේ එම පෞද්ගලික හෝටල් දේපළට හානි කර ඔහුව බිය ගැන්වීමේ ක්‍රියාව. කිසිම රටක පුරවැසියෙක්ට එවැනි හැසිරීමක් ඇති පොලිස්පතිවරයකු තම රටේ පොලිසියේ සිටීමට අවශ්‍ය නොවනු ඇත.‘ යනුවෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.