ඩිජි­ටල් හැඳු­නු­ම්පත මේ වසර අගදී නිකුත් කිරීමට සියල්ල සූදානම් කරයි

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවා ඩිජි­ට­ල්ක­ර­ණය කිරීමේ ක්‍රියා­ව­ලියේ සන්ධි­ස්ථා­න­යක් සනි­ටු­හන් කර­මින්, පුද්ගල අන­න්‍ය­තාව සිය­යට සිය­යක් නිවැ­ර­දිව තහ­වුරු කළ හැකි ඩිජි­ටල් හැඳු­නු­ම්පත මෙම වසරේ අග­භා­ගය වන විට ජන­තා­වට නිකුත් කිරී­මට සියලු කට­යුතු සූදා­නම් කර ඇති බව ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීර­රත්න මහතා ප්‍රකාශ කළේය.
රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­ර­යේදී ඊයේ (25) පැවැති ශ්‍රී ලංකාවේ ඩිජි­ටල් පරි­ව­ර්ත­නය සහ 2026 වසර සඳහා සැල­සුම් කර ඇති ඉදිරි සංව­ර්ධන ව්‍යාපෘති පිළි­බ­ඳ­ව‍ ­මාධ්‍ය දැනු­වත් කිරීමේ සාක­ච්ඡා­වට එක්වෙ­මින් ඒ මහතා මේ බව සඳ­හන් කළේය.

මෙම ඩිජි­ටල් හැඳු­නු­ම්පත් පද්ධ­තිය මෙර­ටට හඳුන්වා දීමට 2012 වසරේ සිටම විවිධ උත්සා­හ­යන් ගෙන තිබුණ ද, එම උත්සා­හ­යන් සාර්ථක වී නොති­බුණි.
කෙසේ වෙතත්, වත්මන් පාලන සමයේ පළමු වසර තුළ ලැබූ සුවි­ශේෂී ප්‍රග­තිය හේතු­වෙන් මේ වන විට එහි ප්‍රස­ම්පා­දන කට­යුතු අව­සන් අදි­ය­රට පැමිණ ඇති බවත් එළ­ඹෙන අප්‍රේල් මාසය වන විට එම ප්‍රස­ම්පා­දන කට­යුතු නිම කර, වසරේ තෙවැනි හෝ සිවු වැනි කාර්තුව වන විට පළමු ඩිජි­ටල් හැඳු­නු­ම්පත නිකුත් කිරීම රජයේ අර­මුණ බවත් ඩිජි­ටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීර­රත්න මහතා සඳ­හන් කළේය. දැනට භාවිත වන සාම්ප්‍ර­දා­යික හැඳු­නු­ම්පත් වෙනු­වට පුද්ග­ල­යන්ගේ ජීව­මි­තික දත්ත (Biometric data) භාවිත කිරීම මෙහි ඇති විශේ­ෂ­ත්ව­යයි. මේ හරහා තමන් කවුද යන්න ඕනෑම ස්ථාන­ය­කදී නිවැ­ර­දිව ඔප්පු කිරී­මට පුර­වැ­සි­යන්ට අව­ස්ථාව සැලසේ. මෙය රජයේ ආය­තන සහ ජන­තාව අතර පව­තින සබ­ඳ­තා­වයේ දැවැන්ත පරි­ව­ර්ත­න­යක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම නව පද්ධ­තිය ක්‍රියා­ත්මක වීමත් සමඟ ජන­තා­වට රජයේ කාර්යාල වෙත භෞති­කව පැමි­ණීමේ අව­ශ්‍ය­තාව විශාල වශ­යෙන් අඩු වනු ඇත. එමෙන්ම, වෙනත් අයකු ලෙස පෙනී සිටි­මින් සිදු කරන මූල්‍ය වංචා, සොර­කම් සහ විවිධ අක්‍ර­මි­කතා වැළැ­ක්වී­මට ද මෙම­ඟින් පූර්ණ හැකි­යාව ලැබෙන බව රජය අව­ධා­ර­ණය කරයි.

මෙම ඩිජි­ටල් හැඳු­නු­ම්පත හඳුන්වා දීම, ශ්‍රී ලංකාව ඩිජි­ටල් ආර්ථි­ක­යක් කරා යන ගමනේ තීර­ණා­ත්මක සාධ­ක­යක් වනු ඇතැයි ද අමා­ත්‍ය­ව­රයා වැඩි­දු­ර­ටත් කියා­සි­ටි­යේය.
ඩිජි­ටල් ආර්ථි­කය පිළි­බඳ ජනා­ධි­පති ජ්‍යෙෂ්ඨ උප­දේ­ශක ආචාර්ය හාන්ස් විජ­ය­සූ­රිය, ඩිජි­ටල් ආර්ථික අමා­ත්‍යාං­ශයේ ලේකම් වරුණ ශ්‍රී ධන­පාල මහ­ත්වරු ද මෙම අව­ස්ථා­වට එක්ව සිටි­යහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *