පස් කන්දට යට වෙන්න ගිය 04 දෙනාගේ ජිවීත සුනඛයා බේරා ගනියි

අයහපත් කාලගුණයෙන් ඊයේ (03) දින පැවති මහා වර්ෂාව හේතුවෙන් අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ නිවසක් පිටුපස තිබූ පස් කන්දක් නාය ගොස් නිවස සම්පූර්ණම යටවෙයි,   නාය යාමට විනාඩි 15 කට පෙර නිවසේ ඇතිකල කළු නම් සුනඛයා විසින් කුඩා දරුවෙකු ඇතුළු ජීවිත හතරක් නූලෙන් බේරා ගනියි,

මෙසේ  ජීවිත බේරී ඇත්තේ අගලවත්ත බෙල්ලන ආඳා දොළ ප්‍රදේශයේ පදිංචි බෙල්ලන විදානලාගේ සෝමසිරි නැමැති පුද්ගලයා සහ ඔහුගේ දරු පවුලයි.

දැනට මේ දරු පවුල ඔවුන්ගේ ඥාති නිවසක රැඳී සිටින බව දැන ගැනීමෙන් පසු අප ඔවුන් සොයා අගලවත්තේ බෙල්ලනට ගියෙමු. එහිදී සෝමසිරි මහතාගේ පුත්‍රයා වූ බෙල්ලන විදානලාගේ ශාන්ත කුමාර (33) මහතා මේ පිළිබඳව මෙසේ පැවසීය,  

මමයි මගේ බිරිඳ හර්ෂණී අනුෂ්කා සමග අම්මා ශාන්ති ජයසිංහත්  තාත්තා බී.වී සෝමසිරි සහ මගේ දිහැවිරිදි දියණිය සෙත්මි අකීෂා ඇතුළු  පස්දෙනාම මේ නිවසේ එකට ජීවත් වෙනවා, 

මේ සිද්ධිය වුනේ  අලුයම එකයි පහළොවට පමණ, මහා වැස්සක් සමඟයි, ඒ අවස්ථාවේ නිවසේ සිටියේ මගේ දෙමව්පියන් හා මගේ කුඩා දියනිය සමග මා පමණයි බිරිඳ එදින ගෙදර සිටියේ නෑ ඇය ඇයගේ මහගෙදරට ගොස් තිබුණා. අපි සියලු දෙනාම ඇහැරිලයි හිටියේ මගේ වයස අවුරුදු දෙකක් වන දියණිය සෙත්මි අකීශා ඇඳට වෙලා හිටියත් ඇයත් මොන හේතුවක් නිසාද දන්නෙ නෑ ඇහැරගෙන හිටියා. අලුයම එකයි පහළොවට පමණ මම සුරතලයට ගෙදර ඇති කර කළු නම් සුනඛයා බුරබුරා නිවස වටේට යමින් නිවස පිටුපසට වී තදින් බුරන ශබ්දය අපට ඇසුණා. බුරන හඬ වෙනදාට වඩා තදින් දැනුණු නිසා මා නිවසේ දොර ඇරගෙන නිවස පිටුපසට වී බුරන කළු අසලට ගියා කළු මට යමක් කියන්නා සේ ගෙදර පිටුපස පන්ස්කන්ඩිය ළඟට ගියා මමත් කළු පිටුපස ගියා පසුව තමයි මම දැක්කේ නිවස පිටුපස කණ්ඩිය පසාරු කරගෙන බොර පාට වතුර පාරක් එනවා. මම වහාම නිවසට පැන නිවසේ අංශභාග රෝගී තත්ත්වයකින් අසනීප වී   සිටි මගේ පියාත් මගේ මවත් ඇඳේ සිටි කුඩා දියණියත් රැගෙන වහාම පැය කාලක්  ඇතුළත එළියට පැන දිව්වා, සුනඛයාත් අපේ පසුපස දුවන් ආවා අපට

මීටර් පන්සීයක්වත් තරම් දුර පහළට එන්න ලැබුණේ නෑ  වාහන දෙකක් එකට හැපෙන සද්දයක් නගමින් නිවස පිටුපස කන්ද සම්පූර්ණයෙන්ම නාය ඇවිත් මගේ නිවස නොපෙනී ගියා, මගේ සුරතල් සුනඛයා කළු අපට මේ විදිහට සංඥාවක් නොදුන්නනම් අපේ ජීවිත හතරක් ඒ මහා පොළොවට යට වී වැළලෙන්නට තිබුණා, නමුත් කළු නිසා අපේ ජීවිත බේරුණා.
මම තේ වගාකරුවෙක් මගේ බිරිඳ හර්ශනී ධනුෂ්කා ඇයත් සමඟ මම බොහෝම දුක් මහන්සිවෙලා හරිහම්බ කරපු මගේ නිවසත් බඩු මුට්ටුත් මේ මහා පස් කන්දට යටවුණා දැන් මට ජීවත් වෙන්න විදියක් නෑ, මා ජීවත් වූ තේ ඉඩමක් ඒ මහා නායට ගියා, දැන් මගේ දෙමව්පියනුත් මගේ දරු පවුලත් අසරණයි.  අපි දැන් තාවකාලිකව නතර වෙලා ඉන්නේ මගේ පුංචි අම්මගේ ගෙදරයි, අපව බේරා ගත් කළුත් දැන් අප සමග ඇවිත්  අඹ ගසක් යටට වී හඬමින් මේ නිවසේම ඉන්නවා. මේ ගෙදරත් කට්ටිය වැඩියි අපිට වැඩි දවසක් මෙහේ ඉන්න අමාරුයි. අපි දැන් අසරණයි මට ඉතිරිවී තිබෙන්නේ ඇඳිවතයි, කළුයි පමණයි, වෙනත් කිසිම දෙයක් දැන් මා සතුව නෑ අපට මේ අසරණ භාවයෙන් මිදෙන්න රජය මැදිහත් වී උදව් කරන්න කියා ඉල්ලා  සිටිනවා,

මම මේ පිළිබඳව අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය දැනුවත් කළා, මට දැන් ඉඩමක් අරන් නිවසක් තනන්නට විදියක් නෑ. නිවසක් ලැබෙනවා නම් එය ලොකු පිනක් කියලා මම ඇති හැකි සියලු දෙනාටම කියනවා.
එම නිවසේ වැඩිමහල් දියණියගේ සැමියා හමුදා නිලධාරියෙකු වූ ලසන්ත අජිත් කුමාර මහතා මෙසේ ප්‍රකාශ කළේය. මෙලෙස නාය ගොස් විනාශ වී ඇත්තේ මගේ බිරිඳගේ මහගෙදරයි මම පදිංචි වෙලා ඉන්නේ යටියන්තොට ප්‍රදේශයේ සිද්ධිය පිළිබඳව මට දැන ගැනීමෙන් පසු මම වහාම මොවුන් පිළිබඳව සොයා බැලීමට ආවා, දැන් මේ පවුල අසරණයි, දැනට මොවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ ජීවත් වෙන්නට නිවසකුයි, පවුල පිළිබඳ සොයා බලමින් මෙහෙම උදව්වක් කරනවා හැර මටත් වෙන දෙයක් කරන්න අමාරුයි. මමත් දරුවන් තිදෙනෙකු සිටින පවුලක්,   ඒක නිසා මම කියන්නේ රජය හෝ  වෙනත් දානපතියකු මේ අයට අනුකම්පාවක් දක්වනවා නම් බොහොම හොඳ අවස්ථාවක් මොකද ඔවුන්ට දැන් නිවසක් තනන්නට කිසිම ක්‍රමයක් නෑ. නිවසක් ගන්නට දැන් රුපියල් ලක්ෂ විසිපහක් තිහක් විතර යනවා. එහෙම මුදලකුත් දැන් මේ අය සතුව නෑ. ඒ නිසා මමත් වගකිවයුත්තන්ට කියන්නේ පුළුවන් නම් කොහෙන් හරි මේ අයට වැටිලා ඉන්න නිවසක් ලබා දෙන්න කියලයි. එතකොට මගේ මස්සිනා මොකක් හරි රැකියාවක් කරලා දෙමව්පියන් දෙන්න ඇතුළු මේ පවුල රැක ගනීවි.

image 3e453a723a Iri News
image bc370fbcc4 Iri News
image 3c379069a4 Iri News
image 001c81a446 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *