නිවසටම භාණ්ඩ සැපයුම හෙවත් “ඩෝ ටු ඩෝ” ක්‍රමවේදය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රි ලංකා රේගුව පියවර ගෙන තිබේ.
විදෙස්ගත පුද්ගලයන් විසින් මෙම ක්‍රමවේදය හරහා විවිධ භාණ්ඩ මෙරටට යොමුකරන අතර, එම භාණ්ඩ සෘජුවම පෞද්ගලික භාණ්ඩ ප්‍රවාහන ආයතන විසින් අදාළ පුද්ගලයන් ගේ නිවෙස් වෙතට යොමුකිරීම මෙමඟින් සිදු කර තිබිණි.
කෙසේ වෙතත් මේ පිළිබඳ දිගින් දිගට ලැබී ඇති මහජන පැමිණිලි සහ ඒ හරහා සිදු කළ විවිධ නීති විරෝධි ක්‍රියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු සැලකිල්ලට ගනිමින් “ඩෝ ටු ඩෝ” භාණ්ඩ සැපයුම් ක්‍රමවේදය තාවකාලික ව අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රි ලංකා රේගුව පවසයි.
ඒ අනුව දෙසැම්බර් පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ සඳහා මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර, එම දිනට පෙර නැව්ගත කර ඇති භාණ්ඩ සඳහා එය අදාළ නොවන බව සඳහන් වේ.
කෙසේ වෙතත් දෙසැම්බර් මස පළමු වැනිදා සිට නැව්ගත කරනු ලබන භාණ්ඩ ශ්‍රි ලංකා රේගුවේ සාමාන්‍ය භාණ්ඩ යොමුකිරීමේ ක්‍රමවේදය හරහා මෙරටට එවිය හැකිය.
මෙම ක්‍රමවේදය මඟින් භාණ්ඩ ප්‍රවාහන සමාගම් වෙත නිකුත් කරන භාණ්ඩ අස්ථානගත වීම, බහලුම් විවෘත කිරිම ඇතුළු විවිධ අකටයුතුකම් පිළිබඳ ඇතැම් පාර්ශ්ව ශ්‍රි ලංකා රේගුව වෙත චෝදනා කළ ද ඒවා සිදු කරනු ලබන්නේ මීට සම්බන්ධ අතරමැදි පාර්ශ්ව විසින් බවට කරුණු අනාවරණය වී ඇති බව සඳහන් වේ.