ජපුර විශේ­ෂඥ වෛද්‍ය­ව­රි­ය එකම රෝගි­යාට සැත්කම් 7- 8ක් සිදු කළත් කිසිවකු සුවවී නැහැ -අල්ලස් කොමි­සම අධි­ක­ර­ණ­යට කියයි

ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය මහේෂි විජේ­රත්න යන සැක­කාර වෛද්‍ය­ව­රිය එකම රෝගි­යාට සැත්කම් 7,8ක් කර ඇතත් ඒ එකම රෝගි­යකු හෝ සුවවී නොමැති බවත් 70%ක් පමණ රෝගීන් මිය­ගොස් ඇති බව අල්ලස් කොමි­සම කොළඹ ප්‍රධාන මහේ­ස්ත්‍රාත් තනූජා ලක්මාලි ජය­තුංග මහ­ත්මිය හමුවේ දැන්වීය.

එම වෛද්‍ය­ව­රිය ඇප මත මුදා­හ­රින ලෙස කළ ඉල්ලී­මක් සලකා බැලූ අව­ස්ථා­වේදී එම කොමි­සමේ විම­ර්ශන නිල­ධා­රීන් මහේ­ස්ත්‍රා­ත්ව­රිය හමුවේ මේ බව පසු­ගිය දා (4) දින සඳ­හන් කළහ. අල්ලස් කොමි­සම අත්අ­ඩං­ගු­වට ගෙන රක්ෂිත බන්ධ­නා­ගා­ර­ගත කර සිටින ශ්‍රී ජය­ව­ර්ධ­න­පුර රෝහලේ විශේ­ෂඥ වෛද්‍ය මහේෂි විජේ­රත්න මහ­ත්මි­යගේ ඇප ඉල්ලීම පිළි­බ­ඳව ලබන 08 වැනිදා කරුණු දක්වන ලෙස කොළඹ මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය එදින විත්තියේ නීති­ඥ­ව­රුන්ට නියම කළාය.

සැක­කාර වෛද්‍ය­ව­රිය ඇප මත මුදා­හ­රින ලෙස ඉල්ලා ජනා­ධි­පති නීතිඥ මෛත්‍රී ගුණ­රත්න මහතා අද මෝස­මක් ඉදි­රි­පත් කර­මින් සිද්ධි­යට සම්බ­න්ධව කරුණු දැක්වී­මක් සිදු කළේය.

‘ස්වාමීනී මගේ සේවා­දා­යි­කා­වට එරෙ­හිව චෝදනා තුනක් තිබෙ­නවා. ඒ වාර්ෂික ඇස්ත­මේ­න්තු­වට ශල්‍ය අයි­තම ඇතු­ළත් නොකි­රීම, නිය­මිත ක්‍රම­වේ­ද­යෙන් බැහැ­රව ශල්‍ය අයි­තම ලබා ගැනීම, රෝගී පාර්ශ්ව වෙනත් තෙවන පාර්ශ්ව­යන් වෙත යොමු කර­මින් ශල්‍ය අයි­තම ලබා ගැනී­මට සලස්වා වාසි­යක් අත්කර ගැනීම. මේ සිද්ධිය සම්බ­න්ධව පැමි­ණිල්ල කරලා තියෙන්නේ 2023. ස්වාමීනී ඔබ දන්නවා 2020 වසරේ සිට මේ රටේ තිබූ තත්ත්වය. 2020, 2021, 2022, 2023 රට දැඩි ආර්ථික අර්බු­ද­ය­කට ලක්ව තිබු කාල­යක්. ඒ වගේ පසු­බි­ම­කයි මේ සිද්ධි­දා­මය වෙලා තියෙන්නේ. සෞඛ්‍ය ක්ෂේත්‍ර­යත් මේ කාලයෙ ලොකු කඩා­වැ­ටී­ම­කට ලක්ව තිබුණා. පිට­තින් ඖෂධ, ශල්‍ය උප­ක­රණ මිලිදී ගැනීමේ කිසිම වර­දක් නෑ. මේක ඉතාම අප­හැ­දිලි චෝද­නා­වක්. සුදුසු ඕනෑම කොන්දේ­සි­යක් මත මගේ සේවා­දා­යි­කාව ඇප මත මුදා හරින ලෙස මම ඉල්ලා සිටි­නවා.

එහිදී අල්ලස් කොමි­සම වෙනු­වෙන් පෙනී සිටි නිල­ධා­රීන් ඇප ඉල්ලී­මට විරෝ­ධය පළ කරනු ලැබිය.

‘ස්වාමීනී, මේ පළමු සැක­කා­රිය දීර්ඝ විම­ර්ශ­න­ය­කට පසු­වයි අත්අ­ඩං­ගු­වට ගත්තේ. ස්වාමීනී රෝහ­ල්ව­ලට අවශ්‍ය ඖෂධ, ශල්‍ය අයි­තම ලබා ගැනීමේ ක්‍රම­වේ­ද­යන් කීප­යක් තියෙ­නවා. ඒ වාර්ෂික ඇස්ත­මේන්තු කැඳ­වීම, ප්‍රාදේ­ශීය වශ­යෙන් ඇස්ත­මේන්තු කැඳ­වීම, හදිසි මිලදී ගැනීමේ ක්‍රම­වේ­දය යටතේ මිලදී ගැනීම. ස්වාමීනී හදිසි මිලදී ගැනීමේ ක්‍රම­වේ­දය යටතේ යම්කිසි මිලදී ගැනී­මක් සිදු කරන විට ඊට ටෙන්ඩර් කැඳ­වී­මක් සිදු කිරීම අවශ්‍ය නෑ. පැය දෙකක් වගේ කාල­යක් තුළදී අදාළ සැප­යුම් ලබා ගැනීමේ හැකි­යාව තියෙ­නවා. ඒ වගේම ස්වාමීනී මේ පළමු සැක­කා­රිය නිලා­වේලී ප්‍රදේ­ශයේ ප්‍රිජෙන්ට් අයි­ලන්ඩ් රිසෝට් කියලා හෝට­ල­යක් තියෙ­නවා. ඒකේ වැඩ කරපු සේව­ක­යෙක් තමා මේ සිද්ධියේ තුන්වෙනි සැක­කාර ලිපි­කරු. මේ EVD යන්ත්‍ර රුපි­යල් රුපි­යල් හත­ළිස් හය­ද­හ­සක මුද­ල­ක­ටත්, VP SHUNT නව­දාස් පන්සී­යක මුද­ල­ක­ටත් පිට­තින් මේ වන විටත් මිලදී ගැනීමේ හැකි­යාව තියෙ­නවා. මෙතන අපි වෛද්‍ය විද්‍යාව ගැන තර්ක කරන් නෑ. අපි කතා කරන්නේ දූෂ­ණය නම් වරද සිදු­කර තිබෙන බවට මේ සැක­කා­රිය. මේ සැක­කා­රිය වෙත එන රෝගී පාර්ශ්ව මැයගේ පුද්ග­ලික ආය­ත­නය හරහා ශල්‍ය අයි­තම ගන්නවා. ඒ මුදල් බැර වෙන්නේ මේ පළමු සැක­කා­රි­යගේ පුද්ග­ලික ගිණු­ම­කට. ඒ නිසයි අපි දූෂ­ණය නම් වරද පළමු සැක­කා­රිය කර ඇති බව කියන්නේ.’

විම­ර්ශන නිල­ධා­රීන් වැඩි­දු­ර­ටත් පවසා සිටියේ, සැක­කාර වෛද්‍ය­ව­රිය සම­හර රෝගීන්ට ශල්‍ය­කර්ම 7,8 කර ඇති බවත් ඉන් 70%ක් පමණ රෝගීන් මිය ගොස් ඇති බවයි.

‘ස්වාමීනී මේ සැක­කා­රිය එකම රෝගී­යාට ශල්‍ය­කර්ම 7,8 කර ඇති බව විම­ර්ශන වලින් අණා­ව­ර­ණය වෙලා තියෙ­නවා. හැබැයි ඒ කිසිම රෝගී­යෙක් සුව­වෙලා නෑ. 70%ක් පමණ රෝගීන් මිය ගිහින්. ඒ වගේම ස්වාමීනී සැක­කා­රි­යගේ නිවෙස පරී­ක්ෂා­වට ගියා. නමුත් ඇය දී තිබෙන ලිපි­නය ව්‍යාජ ලිපි­න­යක්. ඇය හිතා­මතා විම­ර්ශන නිල­ධා­රීන්ට ව්‍යාජ තොර­තුරු දීලා. අපි කිසිම පාර්ශ්ව­යක් අග­ති­යට පත් කිරීමේ අර­මු­ණින් විම­ර්ශන සිදු කරන් නෑ. තව­මත් 50ක වගේ පිරි­ස­ක­ගෙන් ප්‍රකාශ ලබා ගන්න තිබෙ­නවා. විම­ර්ශන තව­මත් සිදු වෙමින් තිබෙන්නේ. සැක­කා­රි­යට ඇප ලබා­දී­මට විරු­ද්ධයි ස්වාමීනී.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේ­ස්ත්‍රා­ත්ව­රිය නඩු­ක­රය ලබන 08 වැනිදා යළි කැඳ­වී­මට නිය­මිත බැවින් එදින මේ සම්බ­න්ධ­යෙන් කරුණු දක්වන ලෙස කියා සිටි­යාය.

නඩුව ජූලි 8 යළි කැඳ­වී­මට නිය­මි­තයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *