බේබදු තරගයේ ජයග්‍රාහකයා වෙරිමතින් මිය යයි

වැඩිම මත්පැන් පානය කිරිමේ පුද්ගලයා තේරීම සඳහා පැවැත්වූ තරගයක් අතරතුරදී වැඩිම මත්පැන් ප්‍රමාණයක් පානය කළ තිදරු පියකු ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ හැටන් පොලිස් වසමට අයත් ලෙදන්ටි වතුයායේ මාල්බ්රෝ කොටසේ පදිංචි ගනේෂන් රාමචන්ද්‍රන් නැමති (39) හැවිරිදි තිදරු පියෙකි.

ඉකුත් 27 වැනිදා රාත්‍රියේ වතුයායේ හින්දු කෝවිලේ වාර්ෂික තේරු උත්සවය පවත්වා ඇති අතර, එම උත්සවයට සහභාගි වූ තරුණ පිරිසක් එක්ව වැඩිම මත්පැන් ප්‍රමාණය පානය කරන පුද්ගලයා තේරීම තරගයක් පවත්වා ඇත.

තරගයට එම වතුයායේම පදිංචි පුද්ගලයන් තිදෙනකු ඉදිරිපත් වී ඇති අතර, ඒ සඳහා මිලිලිටර් 750 මත්පැන් බෝතල් තුනක් ලබා දී ඇති අතර, එහිදී අඩුම කාලයකින් මත්පැන් බෝතලය පානය කරන පුද්ගලයා ජයග්‍රහකයා ලෙස තෝරා ගැනීමට සැලසුම් කර ඇත.

එම තරගයෙන් ජයග්‍රහණය කළ අය තරගයට ඉදිරිපත් වීමට පෙර සිටම අධික ලෙස මත්පැන් පානය කර සිටි බව එම වතුයායේ වතු කම්කරුවෝ පැවසූහ.

රාත්‍රියේ නිවසට පැමිණි තම පියා රාත්‍රි ආහාර ගෙන නින්දට ගිය පසු (28 වැනිදා) අලුයම නින්දේම ජීවිතක්ෂයට පත් වී ඇති බව මියගිය තිදරු පියාගේ වැඩිමහල් දියණිය මරණ පරීක්ෂණයේදී පවසා ඇත.

මෙම තරගයට ඉදිරිපත් වූ තවත් පුද්ගලයෙක් අධික ලෙස රෝගාතුර වී දික්ඔය මූලික රෝහල වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත මාරු කර යවා ඇත.

මියගිය තිදරු පියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය දික්ඔය මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා මරණයට හේතුව නිව්මෝනියාව උණ රෝගය වැළඳී සිටීම සහ ගෙල නහරයේ ආහාර සිරවීම බව සටහන් කර ඇත. මියගිය පුද්ගලයාගේ සිරුරේ කොටස් කිහිපයක් රජයේ රස පරික්ෂකවරයා වෙත යොමු කර ඇති බව හැටන් පොලිසියේ නිලධාරියකු පැවසීය.

මියගිය පුද්ගලයාගේ අවසන් කටයුතු අද (31 වැනිදා) එම වතුයායේදි සිදු කෙරිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *