වසර 28ක කාලයක් පුරා පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කළ රියැදුරු බලපත් කාඩ්පත රජයෙන් මුද්‍රණය කිරීම මේ මස 18 වැනිදා සිට ආරම්භ කරන බවත් එමඟින් එක් කාඩ්පතකින් රුපියල් 166ක මුදලක් රජයට ඉතිරි වන බවත් සභානායක, ප්‍රවාහන හා මහාමාර්ග ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (09) ප්‍රකාශ කළේය.
වසර විසි පහක් පුරා වාහන අංක තහඩු මුද්‍රණය කර ඇත්තේ එකම ආයතනයකින් වන අතර දිගු කාලීනව එකම සමාගමක් අංක තහඩු මුද්‍රණය කිරීමෙන් ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවද හෙතෙම පැවසීය.
අංක තහඩු මුද්‍රණය සඳහා මේ වසරේදී අලුතින් කළ ටෙන්ඩර් කැඳවීමට අනුව සමාගම් තුනක් ඉදිරිපත්ව සිටින අතර වාහන අංක තහඩු ලබාදීමේ ක්‍රමවේදයේ ප්‍රමාදයක් තවදුරටත් පවතින බව ද ඇමැතිවරයා පැවසීය.
ඇමැති බිමල් රත්නායක මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාදර් මස්තාන් මහතා මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
එහිදි වැඩිදුරටත් ඇමැති බිමල් රත්නායක මහතා සඳහන් කළේ මේ වසරේ සැප්තැම්බර් 30 වැනි දින වන විටත් වාහන අංක තහඩු 165,512 ලබාදී නැති බවයි.