නොවැම්බර් 21 වැනිදා පැවති රැළිය සාර්ථක බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක පවසනවා.
ඒ අනුව, ආණ්ඩුව විසින් සිදු කරන දූෂණ සහ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු නොකිරීම සම්බන්ධයෙන් පැවති කුඩා කුඩා උද්ඝෝෂණ, එක තැනකට එකතු කිරීම මෙම රැළිය හරහා සිදු කළ බවයි දෙරණ 360 වැඩසටහනට එක්වෙමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ.
වෙනදා නම් රැළියක් පැවති විටදී ජාතික ජන බලවේගය විසින් ‘කොටු ගසා’ රැළියට පැමිණි ජනතාව පෙන්වන බවද, එහෙත් මෙවර එවැන්නක් සිදු නොවූයේ ආණ්ඩුවට අවාසියක් වන නිසා බවද ඔහු ප්‍රකාශ කර සිටියා.
රැළියට පැමිණි පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඇතැම් පිරිස් සංවිධානාත්මකව ආණ්ඩුව විසින්ම යොමු කළ අය විය හැකි බවත්, එවැනි ඇතැම් පිරිස් ගැන මේ වන විටත් තොරතුරු වාර්තා වී ඇති බවයි මන්ත්‍රීවරයා සඳහන් කළේ.
2015 වසරේ පැවති මහින්ද සුළඟ රැළියට පැමිණි පිරිසට වඩා වැඩි පිරිසක් මෙවර නොවැම්බර් 21 රැළියට පැමිණි බවයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.