පාස්කු නඩුව මැයි අවසන් වන ලකුණු – හිටපු ඇමති නිල නිවසක නඩුව දිනපතා අහයි

ස්ථාපිත කළ විශේෂ මහාධිකරණයට අවශ්‍ය පහසුකම් ලබා දී පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධ නඩු විභාගය අඛණ්ඩව සිදු කර හැකි ඉක්මණින් එම නඩු කටයුත්ත අවසන් කිරීමට රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.

මෙම නඩුව දිනපතා පවත්වා ලබන අප්‍රේල් 21දාට පෙර තීන්දුව දීමට ආණ්ඩුවට අවශ්‍ය වී ඇතැයි වාර්තා වන නමුත් බොහෝ දුරට එය මැයි මස තුළදීවත් අවසන් කිරීමේ ඉලක්කයක් ඇතිව මෙම කටයුතු සම්පාදනය වන බව විශ්වසනීය ආරංචි මාර්ග සඳහන් කරයි.

ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී වසර හතක් වැනි කාලයක් ගතවීත් විවිධ හේතු මත නඩු විභාගය කල් යෑම නිසා මෙම සැලකිල්ල යොමුව ඇතැයි දැනගන්නට ලැබේ.

පාස්කු ප්‍රහාරය සම්බන්ධ නඩු කටයුතු විභාග කිරීම සඳහා විශේෂ මහාධිකරණයක් ස්ථාපිත කර ඇති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය පැවැසූ අතර ඒ අනුව එහි විභාග කටයුතු අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 ස්ථානයේ පිහිටා ඇති හිටපු අමාත්‍ය නිල නිවාසයක් තුළ සිදු කෙරෙන අතර ඊට අවශ්‍ය පහසුකම් ලබා දීම කඩිනම් කරන ලෙසට විෂය භාර අමාත්‍ය හර්ෂණ නානායක්කාර  (පෙබ. 12) උපදෙස් ලබා දුන්නේ ය.

එදින රාජ්‍ය පරිපාලන පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත ලබා දී ඇති නිල නිවාසවල අධිකරණ ස්ථාපිත කිරීමේ කටයුතු නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අධිකරණ අමාත්‍යවරයා මේ බව කීය.

එමෙන් ම, හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද අධිකරණ ස්ථාපිත කිරීමට පවරා ගත් සෙසු නිල නිවාසවලට උසාවි පිහිටුවීමට අවශ්‍ය යටිතල පහසුකම් කඩිනමින් ලබා දෙන ලෙස ද ඔහු පැවසීය.

දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ (2025-2029) අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට පැවැරී ඇති කාර්යභාරයන් ක්‍රියාත්මක කරමින් නඩු කටයුතු කඩිනම් කිරීම සඳහා හිටපු අමාත්‍යවරුන් විසින් පරිහරණය කරන ලද නිල නිවාස හතරක් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයට තාවකාලික පදනමින් ලබා දී තිබේ.

  • අංක B/ 88, ග්‍රෙගරි පාර, කොළඹ 07, 
  • අංක C 76, බෞද්ධාලෝක මාවත, කොළඹ 07, 
  • අංක B108, විජේරාම පාර, කොළඹ 07 සහ 
  • B 12, ස්ටැන්මෝර් චන්ද්‍රවංකය යන ලිපිනයන්හි පවතින නිල නිවාස අධිකරණ අමාත්‍යාංශයට ලබා දී ඇත.

Source : ‘ඉරිදා මව්බිම

Leave a Reply

Your email address will not be published. Required fields are marked *