පාස්කු දා ප්‍රහාරයට අදාළ නඩුවේ විත්තිකරුවන්ට නීතිඥ නියෝජනය අහිමි කර ඇති බව ත් වින්දිතයන්ට තම නඩුව සම්බන්ධව සිදුවන දේ දැන ගැනීමේ අයිතිය අහිමි කර ඇති බව ත් සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රි අජිත් පී. පෙරේරා පාර්ලිමේන්තුවේදී චෝදනා කළේ ය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 106 (1) ව්‍යවස්ථාවට අනුව විවෘත අධිකරණය පවත්වාගෙන යා යුතු වන අතර එම අධිකරණ ක්‍රියාවලිය සිදු කිරීම විවෘත විය යුතු වුවත් පාස්කු දා ප්‍රහාර විමර්ශනය ත්‍රිපුද්ගල මහාධිකරණ කටයුතු වින්දිතයන්ට විවෘත කර නොමැති බව ද මන්ත්‍රිවරයා පෙන්වා දුන්නේ ය.
මන්ත්‍රිවරයා මෙසේ ද පැවසීය.
“මාධ්‍යකරුවන්ට ඒවා වාර්තා කරන්න ඇතුළු වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ඒ අනුව රටේ පුරවැසියන්ටත් මේ නඩුව ගැන දැනගන්න තියෙන අයිතිය උල්ලංඝණය කිරීමක් කරලා තියෙනවා. විවෘත අධිකරණ අහිමි කරන්නේ මොන හේතුවකටද?
මත්ද්‍රව්‍ය හා අල්ලස දූෂණය වැළැක්වීමට අදාළ නඩු කටයුතු ඉතා වැදගත්. ඒ වගේම ඇමතිතුමා කිව්වා මේ සඳහා විශේෂ අධිකරණ පිහිටුවනවා කියලා. මේ විශේෂ අධිකරණ පිහිටුවීම ඉතාම වැදගත්. ඒ වගේ ම ඇමති නිල නිවාසවල උසාවි පිහිටුවනවා කිව්වම ලොකු ගැම්මක් තියෙනවා ඒ කතාවේ.
අද වින්දිතයන්ට තමන්ගේ නඩු බලන්න නැහැ. මේ ගැන පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ විවෘතව සාකච්ඡා වුණා. මාධ්‍යයට විවෘත වුණා. ජනාධිපති කොමිසමේ වාර්තා මාධ්‍යයට එදා හෙළි වුණා. අද මොකුත් නෑ.”