පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ වෙළුම් කිසිවක් සඟවා නොතිබුණු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නීතිය හා සාමය පිළිබඳ හිටපු අමාත්‍ය සාගල රත්නායක ඊයේ (අප්‍රේල් 21) පැවසීය.
එම වාර්තාවේ සියලු වෙළුම් පාර්ලිමේන්තුවට සහ බිෂොප්වරුන්ගේ සම්මේලනයට භාරදී තිබුණු බව ද හිටපු ඇමතිවරයා සඳහන් කළේ ය.
සිරිකොත මූලස්ථානයේ පැවැති පළාත් පාලන අපේක්ෂක හමුවකදී සාගල රත්නායක මෙසේ ද කීවේය.
“ජනාධිපතිවරයා සහ ඔහුගේ කණ්ඩායම බොරු කිය කිය ගිහින් බලයට ගත්තා. දැන් ඒ වගේම බොරු කියලා බලය රැකගන්නත් පුළුවන් කියලා හිතනවා. ටික කලකට ඒ බොරුව ගියා. දැන් ඒ බොරුව විසවෙන්න පටන්ගෙන තිබෙනවා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා දවස් ගාණකින් ගෙදරින් එළවනවා කිව්වා. නමුත් ඔහු තාම ඉන්නවා. බටලන්ද මගඩියක් ආයෙත් පටන් ගත්තා. ඒක අන්තිමට කැරකිලා රටට පැහැදිලි වුණා ඒ සමයේ ජනතා විමුක්ති පෙරමුණ ජනතාවට විශාල පීඩනයක් ගෙනාපු බව.
ගිය මාසේ ආයෙත් පටන් ගත්තා පාස්කු ප්‍රහාරය ගැන. මෙවර පාස්කු ඉරිදා වෙනකොට මහමොළකරු එළිකරනවා කිව්වා. නමුත් පාස්කු ඉරිදා කිව්වේ ජනාධිපති කොමිෂන් වාර්තාව සී.අයි.ඩී.යට භාරදුන් බවයි. ඒ ලැජ්ජාව වහගන්න කියනවා හංගලා තිබුණු වෙළුම් දෙකකුත් දුන් බව. වෙළුම් හංගලා තිබුණේ නෑ. පාර්ලිමේන්තුවට සියලු වෙළුම් භාරදී තිබුණා. බිෂොප්වරුන්ගේ සම්මේලනයට සියලු වෙළුම් භාරදුන්නා. ඊට අමතරව සී.අයි.ඩී.ය සියලු විමර්ශන කළා. ඒ විමර්ශනවලට එෆ්.බී.අයි., ස්කොන්ලෙයාඩ් වැනි විදේශීය ආයතනවල සහාය ලැබුණා.
දැන් බලය රැකගන්න රට වටේ බොරු කිය කිය යනවා. ජනාධිපති පුංචි ඡන්දෙට රට වටේ බොරු කිය කිය යනවාට වඩා හොඳයි නේද රටේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් හොයන්න බැලුව නම්.”