පළමු ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අද සිට ඇරඹෙයි,පළමු දරුවා 2032 දි එළියට – ජනපති අනුර

6 ශ්‍රේණියේ ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ පළමු දරුවා 2032 දී එළියට එනවා – ජනපති ගම්පොළදී කියයි

පළමු වැනි ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හෙට (29දා) ආරම්භ කරන බවත් 6 වැනි ශ්‍රේණියට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල්දමා ඊට අවශ්‍ය දැනුවත් කිරීම් ඇතුළු වැඩසටහනක් සකස් කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (27දා) අවධාරණය කළේය.

දිට්වා සුළි කුණාටුවෙන් විනාශ වූ සියලු ආගමික සිද්ධස්ථාන එම පෞරාණිකත්වය ආරක්ෂා කර ගනිමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා කීය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් ආගමික සිද්ධස්ථාන යළි ගොඩනැංවීමේ ‘ගොඩනඟමු අධිෂ්ඨානයේ සංහිඳ’ ජාතික වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට ඊයේ (27දා) පෙරවරුවේ ගම්පොළ දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේදී ඊට එක්වෙමිනි.

දිට්වා සුළි කුණාටුවෙන් මහනුවර, උඩපළාත ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ආගමික සිද්ධස්ථාන 06ක් පූර්ණ හානියට ලක්ව තිබෙන අතර සිද්ධස්ථාන 15කට අර්ධ හානි සිදුව තිබේ. ඒවා යළි ගොඩනැඟීම ආරම්භ කරමින් සුළි කුණාටුවෙන් පූර්ණ හානියට පත් දොරගල පීකොක් හිල් ජනපදයේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ යළි ඉදිකිරීම් ආරම්භ කිරීමේ අවස්ථාවට ජනාධිපතිවරයා එක්විය.

දිට්වා සුළි කුණාටුවෙන් දිවයින පුරා ආගමික, සංස්කෘතික සහ පුරාවිiාත්මක ස්ථාන 1350කට පමණ හානි සිදුව ඇති බවත් ගම, පන්සල සහ ආගමික සිද්ධස්ථාන අතර සහසබඳතාව යළි තහවුරු කිරීම වෙනුවෙන් එම සිද්ධස්ථාන කඩිනමින් යළි ගොඩනැඟීමට කටයුතු කරන බවත් ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී අපි වැදගත් සාධක කිහිපයක් හඳුනාගෙන තිබෙනවා. විෂය නිර්දේශයන්හි පවතින පැරණිභාවය, නූතන ලෝකයේ නව දැනුම සමග සම්බන්ධවීම් මේ සියල්ල සමග අධ්‍යාපනයේ නව පරිවර්තනයක් අපි සැලසුම් කර තිබෙනවා. එහිදී අපි 1-5, 6-9, 9-11, 11-13 යන කාණ්ඩ 04ක් යටතේ කටයුතු කරනවා. එම කාණ්ඩ 04 තුළ අඛණ්ඩතාවක් තිබෙනවා.

මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ 2032 වසරේ පළමු දරුවා එළියට එනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. ඒ අනුව 2032 වනවිට රට පුරා ඉතා ඉහළ පිළිගැනීමක් සහිත වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන ඇති කරනවා. ඒ වෙනුවෙන් එම පනත සංශෝධනය කිරීමටත්, කථිකාචාර්යවරුන්ගේ වැටුප් වැඩි කිරීමට සහ අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර ලබාදීමටත් සැලසුම් කර තිබෙනවා. පළමු වතාවට වෘත්තීය පුහුණු අධ්‍යාපනයට කෝටි 800ක් අපි වෙන්කර තිබෙනවා.

මේ අතර ඕනෑම වෙලාවක මොකක් හරි කරන්න බලාගෙන ඉන්න පිරිසක් සිටියා. ඔවුන් ඉතා අසත්‍ය මතයක් ගොඩනඟන්න පටන්ගෙන තිබෙනවා. පාරක් ඉදිකරන විට එහෙම කළා නම් අපි පාර හදනවා. එය හකුළගන්නේ නැහැ. හැබැයි දරුවන්ගේ අධ්‍යාපනය පිළිබඳ ගනු ලබන තීන්දුවක් නිසා යම් පිරිසක් අතර සැකයක් තබාගෙන මෙය ඉදිරියට ගෙනයන්න බැහැ. ඒ නිසා 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරේදී සිදුකිරීමට තීරණය කර තිබෙනවා. මේ සඳහා දෙමාපියන්ගේ පූර්ණ විශ්වාසය අවශ්‍යයි. ඒ නිසා පොදු සමාජයේ පූර්ණ විශ්වාසයක් ඇතිව මෙය ක්‍රියාත්මක කිරීම අපේ අපේක්ෂාවයි. පළමු වසරේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මෙම මස 29 වැනිදා ආරම්භ කරනවා. 06 වසරට අදාළ ප්‍රතිසංස්කරණ ලබන වසරට කල්දමා තිබෙන අතර ඒ සඳහා අවශ්‍ය දැනුවත්කිරීම් සහ දෙමාපියන් හමුවීම් සහිත විශාල වැඩසටහනක් සකස් කර තිබෙනවා.

සහකම්පනයෙන් යුත් හොඳ පුරවැසියෙක්, ලෝකය ජයග්‍රහණය කළ හැකි පුරවැසියෙක් අපිට අවශ්‍යයි. ඒ වගේම තමන්ගේ පවුල ගොඩගත හැකි දරුවෙක් අපිට ඊට වඩා අවශ්‍යයි. තමන් ලබාගන්නා අධ්‍යාපනයේ ප්‍රමාණය අනුව දුප්පත්භාවය තීරණය වී තිබෙනවා. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල එක් අරමුණක් වුණේ ග්‍රාමීය ජනතාව දුප්පත්භාවයෙන් මුදාගැනීමයි යැයි ද කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *