ඡන්දයක් තිබ්බොත් තීරණයක් ගමු – කාදිනල් හිමි රටටම කියයි

මෙය මැතිවරණ වසරක් බවත් යම් හෙයකින් මැතිවරණයක් පැවැත්වුවහොත් දූෂිත දේශපාලඥයන්ට තවදුරටත් මේ රට පාලනය කරන්නට ඉඩ දෙනවද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙකුට ඉදිරියට ගෙනයාමේ වගකීම බාර දෙනවාදැයි තීරණය කරන බව අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමි පවසනවා. උන්වහන්සේ මේ බව කියා සිටියේ අද (14) බොරැල්ල සියලු සාන්තවරයන්ගේ දෙව්මදුරේදී පැවති විශේෂ දේව මෙහෙයේ දී යි.

බොරැල්ල සියලු ශාන්තූරන්ගේ දේවස්ථානයට මීට වසර දෙකකට පෙර, 2022 වසරේ ජනවාරි 11 වනදා බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ තිබි අත්බෝම්බයක් සොයා ගැනිණි. එලෙස අත් බෝම්බයක් තැබුවේ මෙරට සිටි බලවතුන් විසින් බවයි අගරදගුරු හිමි පවසන්නේ. එම ප්‍රහාරයේ අරමුණ වූයේ පාස්කු ඉරිදා ප්‍රහාරයට යුක්තිය ඉල්ලූ අරගලය බිය වැද්දීම බවත් උන්වහන්සේ පවසනවා.

“වාසනාවකට එදා අත්බෝම්බය පිපිරුවේ නැහැ. CCTV දර්ශන බලන්නෙවත් නැතුව පල්ලියේ සේවකයෙකු ඇතුළු 04ක් අත්අඩංගුවට ගත්තා. විමර්ශන සම්බන්ධයෙන් නොයෙකුත් බොරු කිව්වා. CCTVවල අත්බෝම්බය තියපු කෙනා පැහැදිලිව පෙනුණා. පොලිසිය ඒ මනුස්සයා ගැන සෙව්වේවත් නැහැ. අවුරුදු 02කට පසුවත් අපි යුක්තිය ඉල්ලනවා මේ පිළිබඳ සාධාරණ විමර්ශනයක් කරන්න.

ඒ අත්බෝම්බය ගෙනල්ලා දේවස්ථානයේ තියපු පුද්ගලයා කවුරුන් හෝ ශ්‍රී ලංකාවේ කෙනෙක්. ඔහු තාමත් ඉන්නවා. කිසිදු සොයා බැලීමක් වෙලා නැහැ. මොකද ඔහු ඔවුන්ගේ ආධාරකරුවෙක්. ඔවුනුයි ඔහුව එව්වේ. ප්‍රබලයෝ තමයි මේ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ.

අපි තේ වත්ත දේවස්ථානයේ රැලිය පවත්වන්න එපා කියලා අවවාද කරන්නයි‍ අත්බෝම්බය දේවස්ථානයට එව්වේ. මිනිස්සුන්ව බය කරන්න හැදුවේ.

මේ වර්ෂය මැතිවරණ වසරක්. යම් හෙයකින් මැතිවරණය පැවැත්වුණ හොත් අපිට අවස්ථාවක් තියෙනවා තීරණය කරන්න මේ දූෂිත දේශපාලනඥයින් රට තවදුරටත් පාලනය කරනවා ද නැතිනම් කවුරුන් හෝ අලුත් කෙනෙක්ට රට ඉදිරියට රැගෙන යාමේ වගකීම භාර දෙනවා ද කියන කාරණාව.

දිව්‍ය පූජා යාගය අවසානයේ දේවස්ථානය ඉදිරිපිට අගරදගුරු හිමි සහ ප්‍රදේශවාසින් නිහඬ විරෝධතාවක් ද පවත්වා තිබුණා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *