අලි අනතුරු අවම කිරීමට සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන කැමරා පද්ධති සවි කිරීම අරඹයි

දුම්රියේ ගැටීමෙන් සිදුවන වන අලි අනතුරු වැලැක්වීම සඳහා සූර්ය බලයෙන් ක්‍රියාත්මක වන කැමරා පද්ධතියක් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ. දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් පසුගියදා (අගෝස්තු 10) මෙම කැමරා පද්ධතිය නිරීක්ෂණය කිරීමේ සංචාරයකට එක්විය.

මෙම පද්ධතිය මාස දෙකකට පමණ පෙර අබන්පොල–කාසිකෝට්ටේ දුම්රිය උමග අසල, ගල්ඔය සහ මින්නේරිය වැනි අලි නිතර ගැවසෙන ප්‍රදේශවල ස්ථාපිත කර ඇත. මෙම කැමරා පද්ධතිය දවසේ පැය 24 පුරාම ක්‍රියාත්මක වන අතර, සූර්ය පැනල මගින් බලගැන්වේ.

කැමරා මගින් වන අලියෙකු දුම්රිය මාර්ගය අසල සිටින බව හඳුනාගත් විට, GPS තාක්ෂණයෙන් යුත් අනතුරු ඇඟවීමේ පද්ධතියක් මගින් අනුරාධපුරයේ පිහිටි ප්‍රධාන දුම්රිය මෙහෙයුම් මධ්‍යස්ථානයට සංඥාවක් යවයි. අනතුරුව දුම්රිය රියදුරන්ට ඒ බව දැනුම් දීමෙන් පූර්ව ආරක්ෂක ක්‍රියාමාර්ග ගැනීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

එක් කැමරාවක් සවිකිරීම සඳහා රුපියල් 20,000ක් පමණ වැය වන බව දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා මෙහිදී පැවසීය. පරිත්‍යාගශීලීන් ඉදිරිපත් වන්නේ නම්, අලි ගැවසෙන තවත් ප්‍රදේශවල මෙවැනි කැමරා පද්ධති සවි කිරීමට දෙපාර්තමේන්තුව සූදානම් බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *