පන්තියක සිටින සිසුන් ගණන 35ට අඩු කරන යෝජනාව සලකා බලන්න යයි

පන්තියක සිසුන් සංඛ්‍යාව තිස්පහ දක්වා අඩු කිරීමට කර ඇති යෝජනාව සලකා බලන බව අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති සන්ධානයට දැනුම් දී තිබේ.

අගමැතිනිය මෙම දැනුම් දීම කර ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු සම්බන්ධයෙන් එම වෘත්තීය සමිති සන්ධානය සහ අගමැතිනිය අතර පැවැති සාකච්ඡාවේ දී ය.

රජයේ පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් මෙම සාකච්ඡාවේ දී කරුණු දක්වා ඇත්තේ කොළඹ කලාපයේ පාසල්වල සිසුන් අඩු වීමට අදාළ තොරතුරු ද ඉදිරිපත් කරමිනි.

මෙම වසරේ එක ශ්‍රේණියට සිසුන් පහට අඩුවෙන් ඇතුළත් වූ පාසල් විසි දෙකක් ද සිසුන් හයත් දහයත් අතර සංඛ්‍යාවක් එක ශ්‍රේණියට ඇතුළත් වූ පාසල් විසි පහක් සහ සිසුන් විස්සට අඩුවෙන් ඇතුළත් වූ පාසල් පනහක් තිබෙන බව ප්‍රධාන ලේකම්වරයා මෙහිදී පෙන්වා දී ඇත. එමෙන් ම පන්තියක සිසුන් සංඛ්‍යාව තිස්පහකට සීමා කිරීම සඳහා පවතින ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය අක්‍රීය කර තිබීම සම්බන්ධයෙන් ද කරුණු දක්වා තිබේ.

පාසල්වල සිසුන් සංඛ්‍යාව මෙවැනි තත්ත්වයක තිබිය දී ජනප්‍රිය පාසල්වලට හා පෞද්ගලික පාසල්වලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව සීමා කිරීමට කටයුතු නොකළහොත් සිසුන් අඩු පාසල් වැසී යාම නොවැළැක්විය හැකි යැයි ද ලේකම්වරයා පෙන්වා දී ඇත.

එම යෝජනාව සලකා බලන බව අගමැතිනිය දන්වා ඇත්තේ එලෙස කරුණු දැක්වීමෙන් පසුව ය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *