2026 සිට 2030 දක්වා වූ සිවු අවුරුදු ජාතික අපනයන සංවර්ධන සැලැස්ම නුදුරේදීම ඉදිරිපත් කිරීමට රජය සූදානම් වේ. මෙරට වාර්ෂික අපනයන ආදායම දැනට එක්සත් ජනපද ඩොලර් බිලියන 20කට ආසන්න ප්‍රමාණයක් පවතින අතර, එය ඩොලර් බිලියන 30ත් 35ත් මට්ටමකට රැගෙන යෑම නව ජාතික සැලැස්මේ අරමුණ වී තිබේ.
මෙලෙස අපනයන ආදායම වැඩි කරගැනීමට අපනයන ක්ෂේත්‍රයේ සිදු කළ යුතු වෙනස්කම් රාශියක් හඳුනාගෙන ඇත. ඒ අතර අපනයනය කරන භාණ්ඩ විවිධාංගීකරණය කිරීම, දැනට හඳුනාගත් විදේශයන්ට අමතරව තවත් විදේශ වෙළෙඳපොළ දිනා ගැනීම, අමුද්‍රව්‍ය ලෙස නොව අගය එකතු කළ භාණ්ඩ ලෙස නිමැවුම් පිටරට යැවීම ආදිය බලගැන්වීම් ඒ යටතේ කටයුතු කරනු ඇතැයි ද කම්කරු ඇමැති සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය ඇමැති, ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.
ලෝක වෙළෙඳපොළේ සැපයුම් දාමයට නිසි ලෙස අවතීර්ණ වෙමින් අපනයන ආදායම වැඩි කර ගන්නා අතර, ඒ සඳහා වන බාධා මැඬලීමට නව සැලැස්මෙන් යෝජනා ඉදිරිපත් කොට ඇත. ඒ අනුව දැනට පවතින ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් යාවත්කාලීන කිරීම, නව වෙළෙඳ ගිවිසුම් අත්සන් තැබීම, තීරු බදු සහන ලබාගැනීමට කඩිනමින් ද්වි-පාර්ශ්වීය සහ බහු-පාර්ශ්වීය සාකච්ඡා ආරම්භ කිරීමට මාර්ගෝපදේශ මේ සැලැස්මෙන් ඉදිරිපත් කරනු ලැබේ.
අපේ රට ඉදිරියේදී ඉන්දියාව, තායිලන්තය, සිංගප්පූරුව, අමෙරිකාව, යුරෝපීය රටවල්, අප්‍රිකානු රටවල් සහ මැදපෙරදිග රටවල් සමඟ වැඩි වැඩියෙන් අපනයන භාණ්ඩ යැවීමට කටයුතු කරනු ඇත. ඒ සඳහා වන නීතිමය බාධා සහ යටිතල පහසුකම් ජාල වැඩි දියුණු කිරීමට මේ සැලැස්මෙන් වැඩපිළිවෙළ ඉදිරිපත් කරනු ඇතැයි කම්කරු ඇමැතිවරයා කීවේය.