ඩෑන් ප්‍රියසාද් ඝාතනයට පිය – පුතු දෙදෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි

පොලීසිය අද (32) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

වැල්ලම්පිටිය පොලීසිය විසින් මෙම කරුණු වාර්තා කිරීම සිදු කර තිබුණි.

පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින්ම මෙම අපරාධයට පිය පුතු දෙදෙනෙකුගේ සම්බන්ධයක් පවතින බවට සැක කළ හැකි තොරතුරු පරීක්ෂණවලදී හෙළිවී ඇති බව දැනුම්දී තිබේ.

ඒ අනුව බන්දුල පියල් හා මාධව සුදර්ශන යන පිය පුතු  දෙදෙනාගේ විදේශ ගමන් තහනම් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් ඔවුන්ගේ දුරකථන වාර්තා කැඳවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසත් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා ඇත.

ඒ අනුව එම ඉල්ලීමට අවසර දුන් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා අදාළ පුද්ගලයින් දෙදෙනා විදේශගතවීම වළක්වාලමින් ආගමන හා විගමන පාලකවරයා ඇතුළු නිලධාරීන් වෙත නියෝගයක් ද නිකුත් කළේය. 

වැඩිදුරටත් කරුණු දැක්වූ පොලීසිය මියගිය තැනැත්තාගේ සහෝදරයකු වන තිළිණ  ප්‍රසාද් නමැත්තා මීට වසර කිහිපයකට ඉහතදී  කපා කොටා ඝාතනය කර තිබූ බවත් ඒ සම්බන්ධයෙන් මෙම පිය පුතු දෙදෙනාට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් පවතින බවත් පැවසීය.

මෙම සිද්ධියට අදාළව මේ වන විට පුද්ගලයින් 10 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙන බවත් ඉදිරි විමර්ශන සිදු කරන බවත් පොලීසිය අධිකරණයට දැනුම්දුනි.

මෙම සිද්ධියට අදාළව මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධය සිදුවූ ස්ථානයට ගොස් ස්ථානීය පරීක්ෂණයක් සිදු කිරීමට ද නියමිතව ඇත.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *