පසුගිය වසරට වඩා 2025 වසරේ මුල් මාස 09ට රාජ්‍ය ආදායම 31%කින් ඉහළට

මේ වසරේ (2025) ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී අයවැය හිඟය රු.බිලියන 538 කින් සැලකිය යුතු ලෙස අඩු වී ඇත.

මේ අනුව ගිය වසරේ (2024) මුල් මාස නවයේ රු.බිලියන 970 ක් වූ සමස්ත අයවැය හිඟය මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී රු.බිලියන 441.4 ක් දක්වා සියයට 54.5 කින් අඩු වී ඇත. මේ වසරේ ජනවාරි – සැප්තැම්බර් කාලපරිච්ඡේදය සඳහා වන රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාවේ මේ බව දැක්වේ. මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ෆිස්කල් ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව විසින් මේ වාර්තාව නිකුත් කර ඇත.

2025 මුල් මාස 09 තුළ රජයේ ආදායම රු. බිලියන 3838.9 ක් ලෙස සටහන්ව ඇති අතර 2024 වසරේ එම කාලයේ දී එම අගය රු. බිලියන 2927.8 ක් ලෙසින් සටහන්ව ඇත. මේ අනුව එම කාලයේ දී සියයට 31 කින් රාජ්‍ය ආදායම ඉහළ ගොස් ඇත.

එසේම රජයේ වියදම් ගිය වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී වාර්තා වූ රු. බිලියන 3897.8 සිට මේ වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේ දී රු.බිලියන 4276.3 ක් දක්වා සියයට 9.7 කින් ඉහළ ගොස් තිබේ. මේ අනුව රාජ්‍ය ආදායම් වර්ධනය වීමේ වේගයට වඩා අඩු වේගයකින් රාජ්‍ය වියදම් වර්ධනය වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *