හිටපු මැති ඇමැති 50කට කුණු කොල්ලෙට නිවාස ලබා දීම රජය අත්හිටුවයි

අරගල සමයේදී නිවාස ඇතුළු දේපළ අහිමි වූ හිටපු මැති ඇමතිවරුන් පනස් දෙනකු වියත්පුර නිවාස සංකීර්ණයෙන් කුණු කොල්ලෙට නිවාස ලබා ගැනීමට දැරූ උත්සාහයක් අත්හිටවූ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසීය.

අරගල අවස්ථාවේදී දේපල හානි වූ හිටපු මැති ඇමතිවරුන් 76 දෙනෙකුට නිවාස ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබුණද නාගරික සංවර්ධන අධිකාරිය සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණේ විසි හය දෙනකු පමණක් බවද ඔහු සඳහන් කළේය.

මේ අනුව ගිවිසුම් අත්සන් කර නොතිබූ ඉතිරි පනස් දෙනාට නිවාස ලබාදීම මෙසේ අත්හිටවූ බවද ඔහු සඳහන් කළේය.

එසේම කුණු කොල්ලෙට නිවාස ලබාගත් හිටපු නැති ඇමතිවරුන් 26 දෙනාගෙන් රජයට පාඩුව මුදල අය කර ගැනීමට හැකිදැයි කරුණු සොයා බලාගෙන යන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙලෙස අඩුවට නිවාස ලබා ගැනීමෙන් රජයට සිදු වූ පාඩුව රුපියල් කෝටි 22 කට අධික බව නාගරික සංවර්ධන නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යාංශය පවසයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පැවසුවේ හිටපු මැති ඇමැතිවරුන් වෙනුවෙන් වියත් පුර නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාදීමට කැබිනට් අනුමැතියක් ලබාගෙන ඇති හෙයින් එම කැබිනට් අනුමැතිය පිළිබඳව කිසියම් අධ්‍යයනයක් කරගෙන යන බවයි.

ඇතැම් මැති ඇමතිවරුන් දේපළ හානි වන්දි මුදල සහ වියත්පුර නිවාස යන දෙකම ලබාගෙන තිබූ බව ඔහු සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *