ජනපති හිමිකම් කපන පනතට එරෙහිව සෑම පියවරක්ම ගන්නවා – හිටපු ජනපතිවරු සටනට එයි

පාර්ලිමේන්තුවේදී අද හෙටම සභාගත කිරීමට නියමිත ජනාධිපතිවරයන්ගේ හිමිකම් (ඉවත් කිරීමේ) පනතට එරෙහිව දේශීය හා ජාත්‍යන්තරව ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව හිටපු ජනාධිපතිවරයෙක් පැවසීය.

අපට මෙරට දී යා හැකි උත්තරීතර අධිකරණය හමුවේ ද කරුණු දක්වන බව ද ඔහු කියා සිටියේය.

හිටපු ජනාධිපතිවරුන්ට හිමි නිල නිවාස හෝ මාසික දීමනාව මාසික ලේකම් දීමනාව, නිල ප්‍රවාහන දීමනාව හා හිටපු ජනාධිපතිවරුන්ගේ වැන්දඹුවට ගෙවන ලද මාසික විශ්‍රාම වැටුප ඇතුළු සියලු පහසුකම් ඉවත් කිරීමට අදාළ පනත් කෙටුම්පතක් රජය විසින් ඉකුත් 31 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. මේ පිළිබඳව වැඩිදුරටත් කරුණු දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේ ද පැවසීය.

“මම මගේ නිල කාලය තුළ ගත් නිවැරදි තීන්දු තීරණ නිසා සතුරන් පවා ඇති වුණා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසකට මරණ දඬුවම නිර්දේශ කළා. ඔවුන් ඊට එරෙහිව මානව අයිතිවාසිකම් පෙත්සම් පවා ගොනු කළා. කොටි ත්‍රස්තවාදීන් කිහිප වතාවක්ම මා මරන්න උත්සාහ කළා. රටේ ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ගත්ත ඇතැම් තීරණ නිසා බහුජාතික සමාගම් මා සමග විරසක වුණා. අපි විශ්‍රාම වැටුප හෝ වෙනත් හිමිකම් කිසිවක් බලෙන් ඉල්ලා ගත්තු ඒවා නොවේ. ඒවා ව්‍යවස්ථානුකූලව ජනපති ධුරයට හිමි වූ දේවල්. අප ජීවත්වන්නේ සුඛෝපභෝගි මාලිගාවල හෝ නිවාසවල නෙවෙයි. අපි ජීවත්වන හැටි ගැන වැරදී චිත්‍රයක් ජනතාවට දෙන්න ආණ්ඩුව උත්සාහ කරනවා.

අපට ජීවත් වෙන්න සමහරුන්ට වගේ පක්ෂ කාර්යාලවලින් මුදල් ලැබෙන්නේ නැහැ. ලැබෙන විශ්‍රාම වැටුපත් එදිනෙදා වියදමට ගියාම ප්‍රමාණවත් නැහැ. අපි වෙනත් මුදලක් ඉල්ලන්නේ නැහැ. ටික කලකට බලය අරගත්තු උදවිය අපට හිමි අයිතිය හිතුමතේ ගන්නා මෙවන් තීරණවලින් කපා හැරීම යට ඇත්තේ වෛරය මිස අන් කිසිවක් නොවෙයි.

තවත් හිටපු ජනාධිපතිවරයකුගේ කාර්ය මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයකු සඳහන් කළේ තිස් වසරක කොටි ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්ෂ මහතා වැනි නායකයකු මෙන්ම ත්‍රස්තවාදය නිසාම සිය ඇස පවා අහිමි කරගත් හිටපු නායිකාවක සම්බන්ධයෙන් පවා මෙවන් තීරණයක් ගතහොත් එය කෙතරම් අකෘතඥදැයි මහජනතාව ද තේරුම් ගනු ඇති බවයි.

  • ‘දිවයින’

Leave a Reply

Your email address will not be published. Required fields are marked *