ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන, එළැඹෙන අප්‍රේල් මස 2 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (19) නියෝග කරනු ලැබුවා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා 2012 සහ 2013 වර්ෂවලදී එයාර්බස් ගුවන්යානා දහයක් මිල දී ගැනීමේදී සිදුව ඇතැයි කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩු කටයුත්තකට අදාළවයි.
කෙසේ නමුත්, මෙම නඩුවේ දී අල්ලස් කොමිසම විසින් මහේස්ත්‍රාත්වරයා වෙත දැනුම් දෙනු ලැබුවේ, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන එකී එයාබස් ගනුදෙනුවෙන් ලද අල්ලස් මුදලෙන් රුපියල් මිලියන 60 ක මුදලක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වෙත ලබා දී ඇති බව අල්ලස් කොමිසම හමුවේ හෙළි කළ බවයි.
මීට අමතරව, එවක සිවිල් ගුවන් සේවා අමාත්‍ය ප්‍රියංකර ජයරත්න වෙත ද රුපියල් මිලියන 20 ක මුදලක් කපිල චන්ද්‍රසේන විසින් ලබා දී ඇති බවයි අල්ලස් කොමිසම හමුවේ සඳහන් කරනු ලැබුවේ.
ඉන් අනතුරුව, කපිල චන්ද්‍රසේන වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ, සිය සේවාදායකයාගෙන් ප්‍රකාශ ලබා ගන්නා අතරතුර අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක, වෙත් කාමරයකට ඔහුව කැඳවා ඔහුට තර්ජනය කර ඇති බවයි.
ඒ අනුව වෙනත් නඩුවක සාක්ෂිකරුවෙකු සියදිවි හානිකරගත් බව ප්‍රකාශ කොට තමාට ද එලෙසම සිදු වනු ඇති බව කපිල චන්ද්‍රසේන වෙත පවසමින් තර්ජනය කර ඇති බවයි නීතීඥවරයා වැඩිදුරටත් කරුණු පැහැදිලි කරමින් සඳහන් කරනු ලැබුවේ.
ඊට ප්‍රතිචාර ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව එම චෝදනා ප්‍රතික්ෂේප කළ අතර, සාක්ෂි ලබා ගන්නා අතරතුර කපිල චන්ද්‍රසේන සමඟ පැමිණි නීතීඥ උදාර මුහන්දිරම්ගේ විසින්, කපිල චන්ද්‍රසේන සාක්ෂි සහිත දිවුරුම් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් වන බවත්, එම දිවුරුම් ප්‍රකාශය ලබාගෙන ඔහුව සැකකරුවෙකු ලෙස නම් නොකොට සාක්ෂිකරුවෙකු ලෙස නම් කළ යුතු බවට යෝජනා කළ බවත් සඳහන් කරමින් එම දිවුරුම් ප්‍රකාශයේ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් පමණක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක අදාළ සැකකරු සමඟ සාකච්ඡා කළ බවත් එහි දී “සියලු කරුණු නොසඟවා පවසන ලෙස” පමණක් ප්‍රකාශ කළ බවත් අල්ලස් කොමිසම විසින් අධිකරණය හමුවේ පැහැදිලි කරනු ලැබුවා.
මෙහි දී දෙපාර්ශවයෙන්ම ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගනු ලැබූ මහේස්ත්‍රාත්වරයා නියෝග කර සිටියේ, සැකකරු එළැඹෙන අප්‍රේල් මස 2 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කටයුතු කරන ලෙසයි.
2013 වසරේදී ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට එයාර්බස් A-330 ගුවන් යානා 06ක් සහ A- 350 වර්ගයේ ගුවන් යානා 08 ක් මිලට ගැනීමේදී, අමෙරිකානු ඩොලර් මිලියන 02ක මුදලක් අල්ලස් ලෙස ලබාගත්තේ යැයි එවක ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේනට සහ ඔහුගේ බිරිඳ වන නියෝමාලි විජේනායකට එරෙහිව චෝදනා එල්ල කරනු ලැබුවා.
කෙසේ නමුත්, ඊට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව විමර්ශනයක් ආරම්භ කර 2020 වසරේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇපමත මුදාහැරුණු අතර, එම විමර්ශනයේදී අල්ලස් පනත සහ දූෂණ විරෝධි පනත යටතට ගැනෙන වරද අනාවරණය වී තිබූ බැවින් ඒ සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විමර්ශනයක් ආරම්භ කිරීමට කටයුතු කරනු ලැබුවා.
ඒ අනුව එම විමර්ශනයට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පසුගිය 12 වන දින කපිල චන්ද්‍රසේන අල්ලස් කොමිසමට කැඳ වූ අතර, එහි දී පැය 7කට වැඩි කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.