රට පුරා ධාරිතාව ඉක්මවා වැලි ප්‍රවාහනය තහනම් කරයි

 දිවයින පුරා වැලි ප්‍රවාහනය කිරීමේදී ධාරිතාව ඉක්මවා ලොරිවලින් වැලි ප්‍රවාහනය සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශය තීරණය කර තිබේ. 

 භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති සමන් ජයසිංහ වැඩ බලන පොලිස්පතිවරයාට මේ පිළිබඳව ලිඛිතව දැනුවත් කර තිබෙන අතර, ධාරිතාව ඉක්මවා ලොරිවලින් වැලි ප්‍රවාහනය කිරීමේදී නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩ බලන පොලිස්පතිවරයා විසින් සියලු පොලිස් ස්ථාන ද දැනුවත් කර ඇත.

 මනම්පිටිය ප්‍රදේශයේ පිහිටි මහවැලි ගඟේ වම් හා දකුණු ඉවුරු ප්‍රදේශවල සිට ලොරි මගින් වැලි ප්‍රවාහනය කිරීමේදී ධාරිතාව ඉක්මවා ප්‍රවාහනය කිරීම පසුගිය 29 වැනිදා සිට තහනම් කර තිබෙන බවද භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කැණීම් කාර්යාංශයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී සඳහන් කළේය.

ඒ අනුව එම කාර්යාංශය මගින් නිකුත් කර ඇති වැලි ප්‍රවාහන බලපත්‍ර සඳහා මෙම නීතිය ක්‍රියාත්මක කෙරේ.

මේ අතර මනම්පිටියේ සිට වැලි ප්‍රවාහනය කරන ලොරි රියැදුරන් සඳහන් කරන්නේ කන්තලේ, මහියංගණය, මඩකලපුව ඇතුළු ප්‍රදේශවල සිට වැලි ප්‍රවාහනය කරන රියැදුරන් ධාරිතාව ඉක්මවා වැලි ප්‍රවාහනය කරන බවත්, මනම්පිටියට පමණක් මෙම නීතිය ක්‍රියාත්මක කිරීම බලවත් අසාධාරණයක් බවත්ය. තවද මේ පිළිබඳ අදාළ අංශවල අවධානය යොමු කර දිවයිනේ සෙසු ප්‍රදේශවලටත් මෙම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඔවුහු ඉල්ලා සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *