ගාල්ල නගර සභාවේ විපක්ෂ මන්ත්‍රීලා ෆෝන් ඉල්ලා ගෙන ​ආ යෝජනාව කිසිවෙක් ස්ථිර නොකිරීම නිසා පරාජයට පත් වෙයි

ගාල්ල මහ නගර සභාවේ සියලුම මන්ත්‍රීවරුන් වෙත ජංගම දුරකථන ලබා දීම සඳහා විපක්ෂය විසින් ඉදිරිපත් කළ යෝජනාවක්, එය ස්ථිර කිරීමට ඉදිරිපත් වන මන්ත්‍රීවරයෙකු නොමැති වීම හේතුවෙන් අකුළා ගැනීමට සිදුව තිබේ.

නගර සභාවේ සියලුම මන්ත්‍රීවරුන්ට ජංගම දුරකථන ලබා දිය යුතු බවට විපක්ෂ මන්ත්‍රීවරුන් 19 දෙනෙකුගෙන් 17 දෙනෙකු අත්සන් කර මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

නාගරික මන්ත්‍රී නිශාන්ත මහතා විසින් සභාවට ඉදිරිපත් කළ මෙම යෝජනාව, එයටම අත්සන් තැබූ මන්ත්‍රීවරයෙකු විසින්ම ස්ථිර කරනු ලැබීය. එහිදී ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී දයාසේන මහතා පෙන්වා දුන්නේ යෝජනාවක් ඉදිරිපත් කළ පිරිසකගෙන් අයෙකුටම එය ස්ථිර කළ නොහැකි බවත්, එය නීතියට පටහැනි බවත්ය.

එම අවස්ථාවේදී යෝජනාව ස්ථිර කිරීමට ආණ්ඩු පක්ෂයේ කිසිදු මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් නොවීය. එමෙන්ම යෝජනාවට අත්සන් කර නොසිටි විපක්ෂ මන්ත්‍රී පවුලස් නියාස් මහතා ද එය ස්ථිර කිරීමට ඉදිරිපත් නොවූ බැවින් නිසි පරිදි යෝජනාව ස්ථිර කිරීමට නොහැකි විය.ඒ අනුව ඇති වූ තත්ත්වය මත යෝජනාව ඉදිරිපත් කළ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායම විසින්ම එය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *