ගාමිණි ලොකුගේ ගෙන් හිස් වූ කැස්බෑව පොහොට්ටු සංවිධායක ධුරය පිංපොට ලබා දෙයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැස්බෑව සංවිධායකවරයා ලෙස විකට රංගන ශිල්පියෙකු ලෙස ප්‍රකට රජිත හිරාන් හෙවත් පිංපොං මහතාව පත්කර තිබෙනවා.

ඒ අනුව ඔහු පිලියන්දල පිහිටි පක්ෂ කාර්යාලයේ සිය ආසනයේ දේශපාලන කටයුතු ආරම්භ කළා.

මෙම අවස්ථාවට ගායන ශිල්පී නාමල් උඩුගම මහතාගේ බිරිඳ වන රංගන ශිල්පිනී රුවන්ති මංගලා, රංගන ශිල්පී අර්ජුන් කමලනාත් ඇතුළු පිරිසක් එක්ව සිටියා.

කෙසේවෙතත් රජිත හිරාන් සහ අර්ජුන් කමලනාත් යන රංගන ශිල්පීන් දෙදෙනාම පසුගිය ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වූවා.

රජිත හිරාන්ට සහ අර්ජුන් කමලනාත්ට මහින්ද රාජපක්ෂ යුගයේදී ශ්‍රී ලංකා යුද හමුදාවෙන් කලක් මුළුල්ලේ අයථා ලෙස මාසික වැටුප් සහ දීමනා ලබාගත් බවටද චෝදනා එල්ල වුණා.

රාජපක්ෂ හිතවාදීන් දෙපලක් ලෙස කාලයක් පුරාවටම කටයුතු කළ ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒමටද ක්‍රියාකාරීව එක්ව සිටියා.

පසුව ගෝඨාභය රාජපක්ෂ පාලනය දැඩිව විවේචනය කරමින් ඔවුන් පැවසුවේ රාජපක්ෂලා මෙතරම් අසාර්ථක පාලකයන් බවට තමන් කිසිසේත් විශ්වාස නොකළ බවයි.

රුවන්ති මංගලා 2018 වසරේ පැවති පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කඩුවෙල මැතිවරණ කොට්ඨාසයෙන් තරඟ කලත් ඇය පරාජයට පත්වූවා.

පසුව පසුගිය මහා මැතිවරණයේදීද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කලත් ඇය අන්ත පරාජයකට ලක්වූවා.

මූලාශ්‍රය – නිව්ස් 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *