මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප අහෝසි කිරීමෙන් ඔවුන් වංචා දුෂණවලට පෙළඹෙනවා – උදය ගම්මන්පිල

පිිවිතුරු හෙළ උරුමය මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේ දී එම පක්ෂ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මෙම අදහස් පල කලේය.

ආණ්ඩුව ලොකු හපන්කමක් විධියට මන්ත්‍රි විශ්‍රාම වැටුප් අහෝසි කරන්න පනතක් ගෙනැවිත් තිබෙනවා.  ලංකාවේ මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුපක් ලබා දෙන්න තීරණය කලේ ඇයි?  අනිත් රටවල් මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවාද? වැනි කිසිම කාරණයක් සොයා බලන්නේ නැතිව මන්ත්‍රිවරුන්ගේ විශ්‍රාම වැටුප අහිමි කිරීම රටේ දැවැන්ත දූෂණයකට පාර කැපීමක්.

1947 සිට 1970 දක්වා පාර්ලිමේන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරයෙක් 1970 පාර්ලිමේන්තු මැතිවරණය පැරදුනා.  ඊට පස්සේ පරණ පාර්ලිමේන්තුවේ පඩි පෙලේ ඉඳලා පාර්ලිමේන්තු එන මන්ත්‍රිවරුන්ගෙන් රුපියල් පහක් ණයට ඉල්ලනවා.  මේ දර්ශනය දකින මන්ත්‍රිවරුන් තමන්ගේ අනාගතය පිළිබඳ ඇතිවන අනාරක්ෂිත භාවය නිසා දූෂණයට පෙළඹේවි කියන බයට තමයි සිරිමාවෝ අගමැතිතුමිය 1977 දී මන්ත්‍රි විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නේ.  ඒ වගේම නිදහස් අධ්‍යාපනයේ පියා සී ඩබ්ලිව් ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා තමන්ට ජීවත් වෙන්න විධියක් නැති නිසා මාසික දීමනාවක් ලබා දෙන්න කියලා ඩඩ්ලි සේනානායක අගමැතිතුමාට ලිපියක් යැව්වා කියලා ප්‍රසිද්ධ කතාවක් තිබෙනවා.

ජේ ආර් ජයවර්ධන ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරියක වුණු විමලා කන්නන්ගර මැතිනියට අවසන් කාලයේ ගෙවල් කුලී ගෙවා ගන්න බැරි වුණා.  එතුමිය තමන්ගේ ඉඩමක් උදාගමක් හදන්න ආණ්ඩුවට පරිත්‍යාග කරලා තිබුණා.  ඒ උදාගමේ ප්‍රජා ශාලාවේ තමයි ඇය ජීවත් වුණේ.  එතුමියට ජීවත් වෙන්න පුළුවන් වුණේ මන්ත්‍රි විශ්‍රාම වැටුප තිබුණු නිසා.  මේ සම්බන්ධයෙන් මෑතකාලීන උදාහරණය තමයි නන්දන ගුණතිලක මැතිතුමා.  එතුමා ජීවත් වුණේ විශ්‍රාම වැටුපෙන්.  ඒ නිසා තමයි විශ්‍රාම වැටුප අහෝසි කලොත් මරාගෙන මැරෙනවා කිව්වේ. දූෂිතයන් අතලොස්සක් අතර තවත් විමලා කන්නන්ගරලා නන්දන ගුණතිලකලා සිය ගණනක් මේ රටේ ජීවත් වෙනවා. ඒ අයටයි මේ ආණ්ඩුව අත තියන්නේ.

මාලිමා ආණ්ඩුව අද විශ්‍රාමික මන්ත්‍රිවරුන්ට කියන්නේ අපි විශ්‍රාම වැටුප අහෝසි කරනවා.  උඹලා බලය තිබෙන කොට පගාව ගහලා කොමිස් ගහලා ඒවා ක්‍රිප්ටෝ කරන්සි වල ස්ථාවර තැන්පතුවල කොළඹ නගරයේ ගොඩනැගිලිවල තේ වතු පොල්වතු වල ආයෝජනය නොකිරීම උඹලාගේ මෝඩකමක් කියලානෙ.

මාලිමා ආණ්ඩුව ජනතාවට පෙන්වන්නේ මන්ත්‍රි විශ්‍රාම වැටුප කියන්නේ ලෝකයේ වෙන රටවල නැති ලංකාවේ විතරක් තිබෙන අමුතු වරප්‍රසාදයක් විධියටයි.   ලංකාව 1977 දී හඳුන්වා දුන්නත් ඉන්දියාව මන්ත්‍රි විශ්‍රාම වැටුප හඳුන්වා දුන්නේ 1954 තරම් ඈතක. එක්සත් රාජධානියේ මන්ත්‍රිවරුන්ට විතරක් නොවේ, ඇමතිවරුන්ට සහ අගමැතිටත් විශ්‍රාම වැටුපක් හිමි වෙනවා. ලෝකයේ සෑම රටකම පාහේ මන්ත්‍රිවරුන්ට විශ්‍රාම වැටුප් ගෙවනවා.  රජයට සේවය කරන සෑම අයෙකුටම හිමි අයිතියක් ඒක. මන්ත්‍රීවරුන්ට ඉහල විශ්‍රාම වැටුපක් ගෙවිය යුතුයි නැතිනම් ඔවුන් දූෂණයට තල්ලු වෙනවා කියලා සුප්‍රකට කියමන  කිව්වේ දූෂණ විරෝධී සටනක් දියත් කරපු සිංගප්පූරුවේ හිටපු අගමැති ලී ක්වාන් යූ මහතා.

වසර පහක් මන්ත්‍රි ධූරයේ හිටිය පමණින් මන්ත්‍රිවරුන්ට පූර්ණ විශ්‍රාම වැටුප හිමි වෙනවා කියන එක පට්ටපල් බොරුවක්.  මන්ත්‍රිවරයෙක් වසර 5ත් 10ත් අතර කාලයක් ධූරය දැරුවොත් විශ්‍රාම වැටුප ලෙස හිමි වෙන්නේ වැටුපෙන් තුනෙන් එකයි.  වසර 10ත් 20ත් අතර කාලයක් ධූරය දැරුවොත් වැටුපෙන් තුනෙන් දෙකක් විශ්‍රාම වැටුප ලෙස හිමි වෙනවා.  රජයේ නිලධාරින්ට වගේම සම්පූර්ණ විශ්‍රාම වැටුප ලබන්න මන්ත්‍රිවරයා වසර 20ක් රාජ්‍ය සේවයේ ඉන්න ඕනි. මන්ත්‍රිවරයාට වසර පහෙන් විශ්‍රාම වැටුප ගෙවීම ආරම්භ වෙන්නේ වසර පහකට වරක් මැතිවරණයකට මුහුණ දීලා රැකියාව අහිමි වීමේ අවදානමක් තිබෙන නිසා.  මන්ත්‍රිවරුන්ට විතරක් නොවේ, රජයේ සේවයට පිටින් බඳවා ගන්නා නිලධාරින්ටත් වසර පහක් සම්පූර්ණ කලාම වැටුපෙන් 1/3ක විශ්‍රාම වැටුපක් ලැබෙනවා.

මේ කිසිවක් ගැන අධ්‍යනය නොකර මන්ත්‍රි විශ්‍රාම වැටුප අහිමි කරන්න කටයුතු කලාම සිද්ධ වෙන්නේ දේශපාලනයේ අතලොස්සක් වෙනුවට සෑම කෙනාම දූෂණයට පෙළඹෙන එකයි.  ඒ නිසා මෝඩ චූන් කරලා ජනතා ප්‍රසාදය දිනා ගන්න හදනවා වෙනුවට වැඩ කරලා ජනතා ප්‍රසාදය දිනා ගන්න කියලා වැඩ බැරි අනුරයි ගෝලයෝ රොත්තටයි අපි අවවාදයක් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *