ගූගල් සමාගම විසින් තම කෘත්‍රිම බුද්ධි (AI) වේදිකාව වන ජෙමිනි (Gemini) හි ඇති විශේෂාංග සහ ඒ ආශ්‍රිත අනෙකුත් ප්‍රතිලාභ ශ්‍රී ලංකාවේ සිසුන්ට නොමිලයේ ලබා දීමට එකඟ වී ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න මහතා සඳහන් කරයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ AI National Expo ප්‍රදර්ශනය ආරම්භ කරමිනි. මෙම වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ සිසුන්ට අධ්‍යාපනික කටයුතු සඳහා කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගැනීමේ වැදගත් අවස්ථාවක් උදා වනු ඇත.
ජෙමිනි (Gemini) යනු, ගූගල් සමාගම විසින් නිර්මාණය කරන ලද බලගතු බහු-අංගික කෘත්‍රිම බුද්ධි ආකෘතියකි. එයට පෙළ, රූප, ශ්‍රව්‍ය සහ දෘශ්‍ය ඇතුළු විවිධ දත්ත වර්ග තේරුම් ගැනීමේ, ක්‍රියාත්මක කිරීමේ සහ ඒ ආශ්‍රිත ප්‍රතිචාර ලබා දීමේ හැකියාව පවතී. මෙම පහසුකම නොමිලයේ ලැබීම හරහා ශ්‍රී ලාංකික සිසුන්ට නව දැනුම ලබා ගැනීමට, ගැටළු විසඳීමට සහ නිර්මාණශීලී ව්‍යාපෘති සඳහා ජෙමිනි (Gemini) වේදිකාව භාවිත කිරීමට අවස්ථාව හිමිවනු ඇත.
මෙවැනි වැඩසටහන් මඟින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් අධ්‍යාපනය තවදුරටත් දියුණු කිරීමටත්, අනාගත ලෝකයට ගැළපෙන කුසලතා වලින් සමන්විත තරුණ පරපුරක් බිහි කිරීමටත් දායක වනු ඇති බවට අපේක්ෂා කෙරේ.