ආණ්ඩුව ජනතාවට ලබාදුන් පොරොන්දු ඉටු කළත් ඔවුනට දිගු කාලයක් බලයේ රැඳී සිටීමට නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.
සමගි ජන බලවේගයේ පක්ෂ මූලස්ථානයේ ඊයේ (13දා) පැවැති මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් කතා කළ මන්ත්‍රීවරයා මෙසේද පැවසීය.
ආණ්ඩුව කුමන ආකාරයේ කැබිනට් සංශෝධනයක් සිදුකළත් පත්වන්නේ එකම කණ්ඩායමයි. ඒ නිසා ආණ්ඩුවේ අකාර්යක්ෂමතාවය වසාගැනීමට, ජනතාව විඳින දුක නතර කරන්න හෝ ණය බර වැඩිවීම වළක්වා ගැනීමට හෝ ආණ්ඩුවට හැකියාවක් නැහැ. එහි ප්‍රතිඵල පළාත් සභා මැතිවරණයේදී දැකගන්න පුලුවන් වෙයි. ඒ වගේම ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පවත්වන්න සූදානම් බව පෙන්වන්න උත්සහ කරනවා. නමුත් පළාත් සභා මැතිවරණය පවත්වන්නැයි ජිනිවා මානව හිමිකම් කොමිෂන් සභාවද
ශ්‍රී ලංකාවට දන්වා තිබෙනවා. ඒ අනුව ආණ්ඩුවට අනිවාර්යෙන්ම පළාත් සභා මැතිවරණය පවත්වන්න සිදුවෙනවා. ඒ අතරතුර ආකර්ශනීය වචන මාලාවක් සහිත අයවැයක් ඉදිරිපත් කිරීමටත් ජනාධිපතිවරයා සූදානමින් සිටිනවා. ඒ වගේම ලබාදුන්න පොරොන්දු අනුව විදුලි බිල, ජලබිල, ඉන්ධන මිල අඩු කරනවාද ? අධ්‍යාපනයට, සෞඛ්‍යට, අත්‍යාවශ්‍ය ආහාර සඳහා අයකරන බදු අඩු කරනවාද ? කියා බලාගත යුතුයි. කෙසේ නමුත් ඡන්දය ඉලක්ක කර ගත් අයවැයක් මෙවර බලාගැනීමට හැකියාව තිබෙනවා. කෙසේ නමුත් ජනාධිපතිවරයාගේ ආකර්ශනීය වචනවලින් ආණ්ඩුවට විරුද්ධ රැළි මර්දනය කිරීමට නම් හැකියාවක් නැහැ.
ඒ වගේම එක්සත් ජාතික පක්ෂය සමඟ එකතුවිය හැකි, එකතු විය හැකි ආකාර පිළිබඳව සමගි ජනබලවේගයේ කළමනාකරණ කමිටුවට වාර්තාවක් ලබාදෙන ලෙස සමගි ජනබලවේගයේ කෘත්‍යාධිකාරී මණ්ඩල කමිටුවත්, කළමනාකරණ කමිටුවත් තීන්දුවක් ගෙන තිබෙනවා. ඒ වගේම වාමාංශික කඳවුරට විරුද්ධව දක්ෂිණාංශික කඳවුර එකතුවිය යුතුයි කියන මතයේ අපි සිටිනවා. ඒ එකතුවීම හරහා දක්ෂිණාංශික කඳවුර ශක්තිමත්ව නිර්මාණය විය යුතුයි. එය විය යුතු දෙයක් සහ එය අනාගතයේදී සිදුවෙනවා. ඒ වගේම පළාත් සභා මැතිවරණයේදී දක්ෂිණාංශික කඳවුරට එකතුවී වැඩ කිරීමේ හැකියාව තිබෙනවා. ඒ හරහා තමයි දක්ෂිණාංශික කඳවුරට ජයග්රහනයක් ලබාගැනීමට හැකියාව තිබෙන්නේ. ඒ වගේම පළාත් සභා මැතිවරණය හැරවුමක ආරම්භයක් කර ගත යුතුයි. ඒ වගේම පළාත් සභා මැතිවරණය අයවැයෙන් පසුව පැමිණීමට නියමිතයි. එතෙක් මේ එක්සත් ජාතික පක්ෂය සමඟ සාකච්ඡා කිරීමට කාලයක් තිබෙනවා. ඒ වගේම පොදුජන පෙරමුණ සමඟ හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එකතුවීමක් නෙවෙයි දකුණු කඳවුරු එකට හිට ගැනීමයි වැදගත් වෙන්නේ. ඒ වගේම සමගි ජනබලවේගය 2014 සිට නගපු චෝදනා වෙනුවෙන් අදටත් පෙනී සිටිනවා. ඒ චෝදනා සෝදා දමන්න සූදානම් නැහැ. එක්සත් ජාතික පක්ෂයේ සහ සමගි ජනබලවේගයේ ප්‍රතිපත්ති අතර විශාල වෙනස්කම් නැහැ. එක්සත් ජාතික පක්ෂය ඇතැම් අවස්ථාවලදී අන්ත ලිබරල් ප්‍රතිපත්ති අනුගමනය කරන්න උත්සහ දරනවා. නමුත් මේ වනවිට ලෝකයේ තිබෙන්නේ අන්ත ලිබරල් ක්‍රමයක් නෙවෙයි. සමාජ වෙළඳපොළ ආර්ථිකයක් තමයි ලෝකයේ ක්‍රියාත්මක වන්නේ.
ඒ වගේම ආණ්ඩුව සමඟ සමස්ත විපක්ෂයම එකතු වුණත් තරඟ කරන්න නොහැකි බව ආණ්ඩුවේ ඇමැතිවරයෙක් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් ආණ්ඩුවේ සිටින්නේ උද්දච්ඡ ඇමැතිවරු. ඔවුන් ප්‍රකාශ කරන්නේ උද්දච්ඡ කතා, ඔවුන් හැසිරෙන්නේ උද්දච්ඡ ආකාරයට. ආණ්ඩුවේ හැසිරීම වසා ගැනීමට තමයි මෙවැනි ප්‍රකාශ ආණ්ඩුවේ මැති ඇමැතිවරු ප්‍රකාශ කරන්නේ. කිසිම පක්ෂයක් හැමදාම දිනන්නෙත් නැහැ, හැමදාම පරදින්නෙත් නැහැ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගයෙ හැමදාම බලයේ ඉන්න පුලුවන් කියලා හිතනවානම්, රට අයිති ඔවුන්ට කියලා හිතෙනවානම්, ඡන්ද දිනන්න පුලුවන් ඔවුන්ට පමණක් කියලා හිතනවානම් එය සිදුවෙන දෙයක් නෙවෙයි. කෙසේ නමුත් ජනතාවට ලබාදුන්න පොරොන්දු ඉටු කළත්, ආකර්ශනීය වචන වලින් ජනතාව මුලාවට පත් කරන්න උත්සහ කළත් ඔවුන්ට දිගුකාලයක් බලයේ රැඳී සිටීමට නොහැකියි.