ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ උපදෙස් පරිදි නිකුත් කර ඇති ජනාධිපති ලේකම් කාර්යාල චක්‍රලේඛයේ උපදෙස් ප්‍රකාරව ක්‍රියාත්මක වන 2025 -2029 දූෂණ විරෝධී ජාතික සැලැස්ම අනුව රාජ්‍ය ආයතනවල සිදුවන සේවා සැපයීම සම්බන්ධයෙන් වන විමසීම් හා පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක පිහිටුවීම මේවන විට ආරම්භ කර ඇත.
ඒ අනුව, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ අභ්‍යන්තර කටයුතු ඒකකයක් පිහිටුවීම ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) ගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (20) දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සිදු විය.
මෙවැනි ඒකකයක් පිහිටුවීමේ මූලික අරමුණ වන්නේ ආයතනයන් තුළ දූෂණය අවම කිරීම සහ සුපිළිපන් බව ඉහළ නැංවීම වන අතර, මෙමඟින් දූෂණ අවදානම් හඳුනා ගැනීම, අවදානම් තක්සේරු කිරීම, ආරක්ෂක විධිවිධාන වැඩි දියුණු කිරීම වැනි කරුණු අධීක්ෂණය කෙරෙන අතර සමස්ත ක්‍රියාවලිය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත හා අල්ලස් සහ දූෂණ මර්දන කොමිෂන් සභාව වෙත වාර්ෂිකව ඉදිරිපත් කිරීම කළ යුතු වේ.
මෙම ඒකකය පිහිටුවීමේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා සහයදීම රාජ්‍ය නිලධාරීන් වන අප සියලු දෙනාගේ පූර්ණ වගකීමක් වන බවත්, බලාපොරොත්තු වන පරිදි නිසි අයුරින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙන් ඇති කරගත හැකි සාර්ථක ප්‍රතිඵල පිළිබඳ දැනුම්වත් කිරීමටද, ආරක්ෂක ලේකම්වරයා විසින් කටයුතු සිදු කරන ලදි. ආරක්ෂක අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය වෙත මෙම වැඩසටහන හඳුන්වාදීම මෙම ඒකකයේ ප්‍රධානී ලෙස කටයුතු කරන ප්‍රියංගනී හේවාරත්න මහත්මිය විසින් සිදු කරන ලද අතර, මෙම අවස්ථාවට ජාතික බුද්ධි ප්‍රධානී, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් – ක්‍රමසම්පාදන හා ආරක්ෂක අමාත්‍යාංශයේ මාණ්ඩලික නිලධාරීන් පිරිසක්ද, සහභාගී වූහ.