පැවැති ආණ්ඩු විසින් කෝටි ගණන් මහජන මුදල් නිස්කාරණේ වියදම් කරමින් ආරම්භ කර අතරමඟ ඉදිකිරීම් අතහැර දමා ඇති විවිධ සංවර්ධන වැඩසටහන් යළිත් ආරම්භ කිරීමට වත්මන් ආණ්ඩුව සැලසුම් කර තිබේ.
මහජන මුදල් විශාල ලෙස වැය කරමින් මෙසේ ආරම්භ කර ඇති ඇතැම් ගොඩනැඟිලි, ඉඩම් මේ වන විට වල් බිහිවී පවතින අතර කිසිදු භාවිතයකට ගත නොහැකි තත්ත්වයට පත්ව ඇත.
විවිධ අවශ්‍යතා සඳහා රට පුරාම මෙවැනි ආකාරයේ සංවර්ධන වැඩසටහන් ආරම්භ කර තිබෙන අතර ඇතැම් ව්‍යාපෘති මුල් ගලට පමණක් සීමාවී තිබේ.
ඇතැම් ඉඩම්වල ඉදිකර ඇති ගොඩනැඟිලි භාවිතයට ගත නොහැකි ලෙස හානි වී ඇති අතර මේවා සඳහා වැය කර ඇති මහජන මුදල් නිකරුණේ විනාශ වී ඇත.
මේ අතර කොටපොල දියදාව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය, නින්දවුර් අෂ්රෆ් සංස්කෘතික ගොඩනැඟිල්ල, මාතර – හක්මණ යෝජිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල, දෙණියාය රෝහලේ ගොඩනැඟිල්ලක් ද වෙයි.
කොටපොල දියදාව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය ඉදිකිරීමට මුල්ගල තබා ඇත්තේ 2018 වසරේ අගෝස්තු මස 21 දාය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ සංකල්පයක් වන ජාතික යොවුන් සේනාංකයේ කොටපොල දියදාව ජාතික යොවුන් සේනාංක පුහුණ මධ්‍යස්ථානය ඉදිකිරීම සදහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් ඉදුනිල් ද සිල්වා මහතාගේ ඇරයුමෙන් අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී ව්‍යාපෘති කළමනාකරණ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍ය ගරු සාගල රත්නායක අමාත්‍යතුමන්ගේ සුරතින් 2018 අගෝස්තු 21 වන දින ශුභ මුහුර්තියෙන් මුල්ගලතැබූ වගයි‘ යනුවෙන් එම මුල්ගලෙහි සඳහන් කර ඇත.
මේ ගොඩනැඟිල්ලේ බිම් මහල සාදා දෙවැනි තට්ටුවේ කණු පමණක් බැඳ තිබෙනු දක්නට ලැබේ.
මෙහි සමහර ගොඩනැඟිලිවල දෙවැනි තට්ටුව ඉදිකිරීම සඳහා ස්ලැබ් යෙදීමද සිදුකර ඇත. මෙහි ගොඩනැඟිලිවලට ඇතුළු වීමට පවා නොහැකි අන්දමින් ගස්කොලන්වලින් වැසී වල් බිහිවී ඇත.
නින්දවුර් අෂ්රෆ් සංස්කෘතික ගොඩනැඟිල්ලද මහල් හතරකින් සමන්විත ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ල ඉදිකර එය නිම කිරීමට අවශ්‍ය පියවර නොගැනීම නිසා දියසෙවල බැඳී අව්වට වැස්සට දිරාපත්ව යමින් තිබේ.
ඒ ආකාරයට මාතර-හක්මණ යෝජිත ප්‍රාදේශීය ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල ද අතරමඟ ඉදිකිරීම් නැවතී, වල් බිහි වී ඇත. මේ ගොඩනැඟිලි ආශ්‍රිතව මදුරුවන් බෝ වන ස්ථානද බොහෝ වෙයි. දෙනියාය රෝහලේ ද විවිධ ඉදිකිරීම් ආරම්භ කර ඇතත් ඒවා අවසන් කිරීමට කටයුතු කර නැත. මේ හේතුවෙන් විශාල මුදලක් නිරපරාදේ නිෂ්කාර්ය වියදමක්ව ඇති අතර තව දුරටත් මේ ඉදිකිරීම් නිමා කිරීමට කටයුතු නොකිරීමෙන් සිදුවන්නේ දිරාපත්ව මහජනයා ගැවසීම පවා අනාරක්ෂිත ස්ථාන බවට පත්වීමයි.
මෙබදු අඩක් ඉදි කළ හෝ අත්හරින ලද රජයේ ගොඩනැඟිලි ඵලදායි ලෙස භාවිතය සඳහා මේ වන විට රජය යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර ඉතා නුදුරේදීම ප්‍රමුඛතාව හා අවශ්‍යතාව අනුව මෙහි ඉදිකිරීම් යළි ආරම්භ කිරීමට සැලසුම් සකස් කරමින් පවති.