රාජ්‍ය ආයතනවල දූෂණ අල්ලන්න යෙදවූ අභ්‍යන්තර ඒකකත් නියාමනය කරයි

අමාත්‍යාංශ සහ රාජ්‍ය ආයතනවල පිහිටුවනු ලැබූ අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් සැකසීමට රජය තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතනවල සිදු කෙරෙන දූෂණ හා අක්‍රමිකතා වැළැක්වීම හා ඒවා වාර්තා කිරීමත්, ඊට එරෙහිව කඩිනමින් ක්‍රියා කිරීම සඳහාත් මෙලෙස අමාත්‍යාංශවල සහ රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර ඒකක පිහිටුවා තිබේ.

ඒ අනුව ජනාධිපති කාර්යාලයේ හා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන්ට එය නිරීක්ෂණයට හැකියාව ලැබෙන සේ එම අභ්‍යන්තර ඒකක නියාමනය සඳහා පද්ධතියක් පිහිටුවීමට නියමිත අතර ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් ඊට පහසුකම් සපයනු ඇත.

නව පද්ධතිය ආරම්භ කිරීමත් සමග එම ඒකකවලට පැමිණිල්ලක් ලැබුණු අවස්ථාවේ සිට, ඊට ප්‍රතිචාර දක්වා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම දක්වා වන ක්‍රියාවලිය නියාමනයට හැකියාව ලැබෙන බව අල්ලස් කොමිසම සඳහන් කරයි.

ජනාධිපති ලේකම්වරයා නිකුත්කර ඇති චක්‍රලේඛයක් අනුව පළමු අදියරේදී අමාත්‍යාංශ සියල්ලේම හා තෝරාගත් රාජ්‍ය ආයතන 40ක එම අභ්‍යන්තර ඒකක පිහිටුවීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *