පුරවැසියාට අයිතියක් වන ලෙස හා රාජ්‍ය නිලධාරියාට වගකීමක් වන ලෙස රාජ්‍ය සේවය ශක්තිමත් කිරීමට රජය පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ අද (26) අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සාකච්ඡාවේදී. රාජ්‍ය සේවකයින් සඳහා සාධාරණ මූලික වැටුප් වැඩිවීමක් මෙන්ම විශ්‍රාමිකයින්ගේ වැටුප් විෂමතා වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අදාළ යෝජනා මෙවර අයවැයට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කළා.
පවතින රාජ්‍ය සේවය පිළිබඳ පුරවැසියාගේ තෘප්තිමත්භාවයක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ සේවාවන් ඩිජිටල්කරණය කිරීම තුළින් පුරවැසියන්ට කාර්යයක්ෂම සේවයක් ලබාදීමට අපේක්ෂා කරන බවයි කියා සිටියේ. ලබන ජූනි මාසය වන විට රාජ්‍ය සේවයේ නිවැරදි දත්ත පද්ධතියක් සකස් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවත්, රාජ්‍ය සේවය සතු දැනට තිබෙන දත්ත ප්‍රමාණයේ විශාල වියවුලක් පවතින බැවින් ඒවා මත පදනම්ව නිවැරදි තීන්දු තීරණ ගැනීමේ හැකියාවක් නොමැති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.