හල්ඔලුවට වෙඩි තැබීම ගැන යම් යම් අසාමාන්‍ය තැන් අනාවරණය වෙයි

සීසීටීවී දර්ශන සම්බන්ධව කළ සාර්ථක විමර්ශනයකින් අනතුරුව තුසිත හල්ලොලුවට වෙඩි තැබීමට පැමිණි අපරාධකරුවන් පැමිණි දිශාව සහ ඔවුන් පැමිණි ප්‍රදේශය සම්බන්ධව කරුණු සියල්ලම අනාවරණය කරගෙන ඇති බව ද මේ සිදුවීම තුළ යම්යම් අසාමාන්‍ය තත්ත්ව විමර්ශන අංශ වෙත අනාවරණය වී ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග පවසයයි.

පරීක්ෂණ ඉතාම විවෘත මනසකින් කරගෙන යන බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා ඉතාම නුදුරේදී මේ විමර්ශනය සම්බන්ධ පූර්ණ තොරතුරු ජනතාව අභියස ඉදිරිපත් කරන බවට සහතික වුනේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ අද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා විසින් පවත්වන ලද ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

ඒ සංවාදය ඇදී ගියේ මේ ආකාරයටය.

තුසිත හල්ලොලුව මැතිතුමා ගමන් කළ රථයට වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධව එතුමා විසින් පැමිණිලි කරලා තියනවා. ඒ අනුව ඒ පිළිබඳ විමර්ශන කොළඹ අපරාධ කොට්ඨාසය සහ නාරාහේන්පිට පොලිසිය විසින් සිදුකරනවා. එමෙන්ම මෙම වෙඩි තබා ගැනීමේ සිදුවීම සම්බන්ධව යම් යම් අසාමාන්‍ය තත්ත්වයන් සම්බන්ධවත් අපගේ අවධානයට යොමු වෙලා තියනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳ පූර්ණ විමර්ශනයක් ඉතා ඉක්මනින් සිද්ධ කරලා මේ සිදුවීම සම්බන්ධයෙන් අවසාන තත්ත්වය රටට ප්‍රකාශ කිරීම සහ අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා.

මාධ්‍ය – අසාමාන්‍ය තත්ත්වයක් කියන්නෙ යම් කිසි විදිහක ඔහු විසින්ම නාට්‍යානුසාරයෙන් කරපු දෙයක් කියල ද ඔබතුමා අදහස් කරන්නේ

පොලිස් මාධ්‍ය ප්‍රකාශක – ඒ සම්බන්ධයෙනුත් පරීක්ෂණ කරනවා. මොකද වෙඩි තබා ගැනීමේ සිද්ධි සම්බන්ධව පොලිසිය දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා තියනවා. ඒ සම්බන්ධව විමර්ශන කරලා තියනවා. ඉතින් යම් අවස්ථාවක ඒ තත්ත්වයන් සම්බන්ධ අසාමාන්‍යතාවයක් තිබ්බොත් තමයි අපි වැඩි අවධානයක් යොමු කරන්නේ.

ඉතින් මෙතනදිත් යම් යම් තත්ත්වයන් අපට පේනවා. කෙසේ වුවත් අප විවෘත මනසකින් තමයි විමර්ශනය කරන්නේ. කිසි වෙලාවක ඔබ කිව්වා වගේ මේක ඔහු විසින් නිර්මාණය කරපු දෙයක් ද, එසේත් නැතිනම් වෙනත් පාර්ශවයක් සිදුකළ දෙයක් ද යන්න පිළිබඳ පූර්ව නිගමයක් අප තුළ නෑ.

නමුත් මේ සියලුම පැති සම්බන්ධව අප අවධානය යොමු කරනවා සහ විමර්ශනවලින් පසු අපට පුලුවන් අවසාන වශයෙන්ම අදහසක් ප්‍රකාශ කරන්න.

මාධ්‍යය – මේ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය හෝ යම් කිසි තොරතුරක් පැමිණි දිශාවක් හෝ පලාගිය ප්‍රදේශයක් ගැන ඔබතුමාලට සොයා ගන්න පුලුවන් වෙලා තියනව ද?

පොලිස් මාධ්‍ය ප්‍රකාශක – ඔව්… දැනටමත් අපි සීසීටීවී දර්ශන සම්බන්ධව ඉතාම සාර්ථක විදිහට විමර්ශනය කරලා තියනවා. ඒ පිළිබඳව ප්‍රගතිය ප්‍රකාශ කරන්න හැකියාවක් නෑ. නමුත් ඒ යතුරුපැදිය පැමිණි අවස්ථා පැමිණි ප්‍රදේශය වැනි සියලු කරුණු දැනට අපි අනාවරණය කරගෙන තියනවා.

මාධ්‍ය – තුසිත හල්ලොලුව කියන පුද්ගලයා ඔහු විසින් කියන්නේ ඔහුගේ නමින් තිබුණ ෆයිල් එක ලබා ගැනීමට කරපු අරමුණින්ම මේක කළා කියල ද?. නැතිනම් ඔහුව ඝාතනය කිරීම සඳහා කළ උත්සාහයක් කියල ද ඔහුගේ ප්‍රකාශයේ සටහන් වෙලා තියෙන්නේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක – මම කිව්වේ ඒක තමයි. ඒ පිළිබඳව විමර්ශනයෙන් අනතුරුව තමයි ප්‍රකාශ කරන්න පුලුවන් වෙන්නේ. ඔහුගෙන් මේ පිළිබඳව සම්පූර්ණ විස්තරාත්මක ප්‍රකාශයක් ලබා ගැනීමටත් අප කටයුතු කරනවා. විමර්ශනවලින් අනතුරුව මේ සම්බන්ධව ප්‍රකාශ කළ හැකියි මොකක්ද මේකේ අරමුණ කියලා.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *