හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව පවරා ඇති නඩුව සම්බන්ධයෙන් නීති බලධාරීන් කටයුතු කරන ආකාරය දෙස බලන විට ඔවුන් මේ වන විටත් “නාන නෑම බොහොම” බවත් රනිල් වික්‍රමසිංහ යනු නීතිය පිළිබඳ පට්ට දැනුමක් ඇති ලේසි මිනිසෙක් නොවන බවත් හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
රූපවාහිනී නාලිකාවක ඊයේ (16) පැවති දේශපාලන වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ජනාධිපතිවරයෙකු පෞද්ගලික සංචාරයක නිරත වුවද, ඔහු එම තනතුර දරන තාක් කල් ඔහුට හිමිවන ආරක්ෂාව සහ වරප්‍රසාද පවතින්නේ තනතුරේ ගරුත්වය මත බවයි.
“ජනාධිපතිවරයෙක් ටොයිලට් එකට ගියත්, මල ගෙදරක ආවත් ඒ යන්නේ ජනාධිපති හැටියට. එතුමා පෞද්ගලික සංචාරයක් ගියත් තානාපති කාර්යාල නිලධාරීන් සහ ආරක්ෂාව සම්බන්ධ වීම සාමාන්‍ය දෙයක්.”
කෙසේවෙතත් රනිල් වික්‍රමසිංහ මහතාව අත්අඩංගුවට ගැනීම සහ රක්ෂිත බන්ධනාගාර ගත කිරීම පිටුපස කිසියම් පිරිසකගේ උද්දච්චකම සහ පෞද්ගලික තරහක් පවතින බව හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
රනිල් වික්‍රමසිංහ යනු බොහොම උගත් මිනිසෙක් බව පෙන්වාදුන් ඔහු පවසන්නේ, සමහර පුද්ගලයින් එතුමාගේ ආඩම්බර ගතියට අකමැති බවත් එබැවින් මෙම සිදුවීම් සියල්ල පළිගැනීම් බවයි.
එමෙන්ම අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් අධිකරණයේදී කරුණු දක්වමින් මහාධිකරණයේ නඩු පැවරීමට ඇති සූදානම සහ ‘සහචරයින්’ සමඟ ගත් ඡායාරූප පිළිබඳ කළ ප්‍රකාශයට ද හරීන් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා.
“දිලීප පීරිස් මහතා කියන සහචරයා මම වෙන්න ඕනේ. රනිල් වික්‍රමසිංහ මහතා රෝහලේ ඉන්නකොට ‘Unleashed’ කියන පොත අල්ලගෙන ඉන්න ෆොටෝ එක ගැහුවේ මම.”
එමෙන්ම ඔහු පවසන්නේ, ජනාධිපති ආර්යාවට වුල්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ලැබීම රටට ආඩම්බරයක් බවත්, ඒ සඳහා එතුමා සහභාගී වීම වරදක් ලෙස දැකිය නොහැකි බවයි.
වරදක් නොකළ පුද්ගලයෙකුට එරෙහිව මෙවැනි ක්‍රියාමාර්ග ගැනීම තුළින් අදාළ පුද්ගලයන්ට කර්මය විසින් පඩිසන් දෙනු ඇති බව හරීන් ප්‍රනාන්දු මහතා එහිදී කියා සිටියා.
“වැරදි වැඩ කරපුවාම කර්මය විසින් පඩිසන් දෙනවා. රනිල් වික්‍රමසිංහ බොරු වැඩ කළ මිනිහෙක් නෙවෙයි. එතුමාව බලෙන් හිරේ දැම්මොත් ඒකෙ සාපය ඒ මිනිස්සුන්ට පුද්ගලික මට්ටමෙන් වදීවි.”
- උපුටා ගැනීම – News 19