ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩල සේවා ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදුසුකම් හා පළපුරුද්ද මත තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණය වෙනුවෙන් සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම ඊයේ (16) සිට ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති තනතුර හැර ප්‍රධාන විධායක නිලධාරි ඇතුළු සියලු ශ්‍රේණි සඳහා සේවක අන්තර්ග්‍රහණ කිරීම් මේ අනුව ඊයේ සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කර ඇත. ශ්‍රීලං.ග.ම. ඉතිහාසයේ ප්‍රථම වතාවට සුදුසුකම් හා පළපුරුද්ද මත සියලු තනතුරු සඳහා සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විධිමත්ව සිදු කිරීම මේ යටතේ සිදුකෙරේ.
ශ්‍රේණි 01 සිට 05 දක්වා තනතුරු සඳහා ඊයේ සිට දින තුනක කාලයක් මෙම අන්තර්ග්‍රහණ කටයුතු සිදුකෙරෙන අතර, දිවයිනේ සියලුම ලංගම ප්‍රාදේශීය කාර්යාල මඟින් ශ්‍රේණි 05 සිට ශ්‍රේණි 10 දක්වා ඉහළට සේවක අන්තර්ග්‍රහණ කටයුතු සිදුකෙරෙනු ඇත.
පසුගිය දශක ගණනාවක් පුරාවට දේශපාලන බලපෑමෙන් හා දේශපාලන හිතවත්කම් මත සිදුකළ බඳවා ගැනීම් සහ උසස්වීම් ලබාදීම් හේතු කොටගෙන අවිධිමත් බඳවා ගැනීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක වූ අතර, මේ හේතුවෙන් අකාර්යක්ෂම පරිපාලනයක් ගොඩනැඟී පැවැතිණ. 24,000කට අධික සේවක පිරිසක් පසුගිය රජයන්වල ග්‍රහණයට පත්වී විවිධ අනුචිත රාජකාරිවල යෙදවීම බහුලව සිදුවිණි.
ලංගමයේ පැවැත්මට හා ප්‍රගමණයට එම තත්ත්වය ඉතා අහිතකර ලෙස බලපෑ අතර, සුදුසුකම්, පළපුරුද්ද සහ වෘත්තීය කුසලතා නොසලකා සිදුකළ බඳවා ගැනීම්, උසස්වීම් ලංගමයේ පරිහානියට හේතු වූ අතර නව රජය බලයට පත්වීමත් සමඟ පොදු ප්‍රවාහනයේ කාර්යක්ෂමතාව නැංවීමට සාධනීය පියවර රැසක් ගනු ලැබීය. පොදු ප්‍රවාහනයේ රාජ්‍ය අංශයේ වැඩිම දායකත්වය ලබාදෙන ලංගම ප්රතිසංවිධාන කිරීමේ ජාතික වැඩපිළිවෙළ යටතේ නව ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ තවත් එක් තිරසර පියවරක් ලෙස මෙම සේවක අන්තර්ග්‍රහණ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුතුව ක්‍රියාත්මක කෙරේ.