අනවශ්‍ය ලෙස ඉන්ධන තොග රැස්කර සඟවාගෙන සිටින පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා දීපව්‍යාප්තව පොලිස් මෙහෙයුම් ආරම්භ කළ බව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා ‘දිවයින’ට ඊයේ (19දා) පැවසීය.
මෙම මෙහෙයුම යටතේ ඉන්ධන රැස්කර සඟවාගෙන සිටි පුද්ගලයන් 05 දෙනකු ඊයේ වනවිට අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවද පොලිස්පතිවරයා කීය.
මීගමුව, ශ්‍රීපුර, බියගම, මල්වාන, මොනරාගල ප්‍රදේශවල කළ මෙහෙයුම්වලදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි විය.
ඉන්ධන තොග රැස්කර නීතිවිරෝධී අන්දමින් ගබඩා කර ඒවා වැඩි මිලට අලෙවි කිරීමට සංවිධානාත්මක පිරිස් කටයුතු කරමින් සිටින බවට ලැබුණු තොරතුරු මත එම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමේ මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළ බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් කියාසිටියේය.
මේ ආකාරයට ඉන්ධන තොග රැස්කර ගබඩා කරගෙන සිටින පුද්ගලයන් පිළිබඳව තොරතුරු ලබාදෙන ඕනෑම අයකුට ත්‍යාග මුදල් පිරිනැමීමට ද කටයුතු කරන බව පොලිස්පතිවරයා පවසයි.
අනවශ්‍ය ආකාරයට ඉන්ධන තොග රැස් කරමින් ගබඩා කිරීම නිසා රට පුරා ඉන්ධන හිඟයක් මෙන්ම ඉන්ධන ලබාගැනීමට දිගු පෝලිම් නිර්මාණය වී ඇති බවද විමර්ශනවලින් හෙළි වී ඇත. මේ හේතුව නිසා කිසිම අවස්ථාවක ඉන්ධන තොග ලබාගෙන ඒවා සඟවා තබාගැනීමට කටයුතු නොකරන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මේ අතර ඉන්ධන පෝලිම්වල සාමය කඩකළ පුද්ගලයන් 07 දෙනකු සහ ඉන්ධන පෝලිම්වලින් අනීතික ලෙස ඉන්ධන ලබා ගැනීමට කටයුතු කළ පුද්ගලයන් සිව්දෙනෙක් ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
එමෙන්ම ඉන්ධන පිරවුම්හල්වලට පොලිස් සහ යුද හමුදා ආරක්ෂාව ලබාදීමට ද කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි.