මට භාර දෙන්න, අවුරුදු තුනෙන් රට හදලා පෙන්නන්නම් – සමන්තභද්‍ර හිමි

රට පාලනය කිරීමට තමන්ට භාර දෙන්නේ නම් වසර තුනක් වැනි කෙටි කාලයකදී මුළු රටම සංවර්ධනය කර පෙන්වීමට තමන් වහන්සේ සූදානම් බව පූජ්‍ය සිරි සමන්තභද්‍ර හිමි පවසනවා.

අද (24) දිනට යෙදී ඇති උන්වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් උමංදාව ආශ්‍රමයේ පැවැති දානමය පුණ්‍යකර්මයට සහ ආගමික උත්සවයට එක්වෙමින් උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ශිරන්ති රාජපක්ෂ මහත්මිය, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක් එක්ව සිටියා.

රජයේ ක්‍රියාකලාපය දැඩි ලෙස විවේචනය කළ උන්වහන්සේ, දක්ෂයන්ට සහ වැඩ කරන මිනිසුන්ට වල කැපීමෙන් රටක් දියුණු කළ නොහැකි බව එහිදී අවධාරණය කළා.

උමංදාව ආශ්‍රමය හරහා පසුගිය වසර 9 පුරා සිදු කළ ජාතික මෙහෙවර පිළිබඳව සිහිපත් කළ උන්වහන්සේ, උමංදාව මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශාල මෙහෙවරක් ඉටුකර ඇති බවත් විශේෂයෙන්ම ඊශ්‍රායලය වැනි රටවල් ඉලක්ක කරගනිමින් පුහුණු ශ්‍රමිකයන් පන්දහසක් පුහුණු කළ හැකි මධ්‍යස්ථානයක් බවට උමංදාව පරිශ්‍රය පත් කිරීමට හැකි වූ බවත් පවසනවා.

නමුත් වත්මන් රජය යටතේ එම සේවාවන් අඩපණ වී ඇති බවට චෝදනා කළ උන්වහන්සේ කියා සිටියේ, උමංදාව හරහා පවත්වාගෙන ගිය රෝහල් වසා දමා ඇති බවත්, වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිකළ ජල පිරිපහදු පද්ධති ක්‍රියාවිරහිත කර ඇති බවයි.

මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන හිටපු ජනාධිපතිවරුන් මෙම සේවාවන් සඳහා ආශීර්වාද කළ බවත්, වත්මන් රජය සෘණාත්මක මනසකින් යුතුව එම වැඩපිළිවෙළට බාධා පමුණුවන බවත් සමන්තභද්‍ර හිමි වැඩිදුරටත් කියා සිටියා.

එමෙන්ම, සමාජ මාධ්‍ය ක්‍රියාකාරි සේපාල අමරසිංහ සහ ඉරාජ් වීරරත්න යන අය සමඟ ද අදහස් හුවමාරු කරගත් ස්වාමීන් වහන්සේ, මතවාද පැත්තක තබා රටේ අනාගතය වෙනුවෙන් සියලු දෙනා එකා මෙන් පෙළගැසිය යුතු බව ප්‍රකාශ කළා.

අභියෝග හමුවේ සන්ධානගත විය යුතු බව පැවසූ උන්වහන්සේ පෙන්වාදෙන්නේ, එලෙස නොවුණහොත් තමන් ඇතුලු සියල්ල දුර්වල වන බවයි.

“ජයග්‍රහණයක් අවශ්‍ය නම් දැන්වත් එකතු වෙන්න” යනුවෙන් සමන්තභද්‍ර හිමි එහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියා.

එමෙන්ම පසුගියදා පැවැති සංඝ සම්මේලනය තමන් වහන්සේ සංවිධානය කළේ නම් එය මීට වඩා ඉතා ඉහළ මට්ටමකින් සිදු කරන බවද උන්වහනසේ සඳහන් කළා.

“සංඝ සම්මේලනය මම කළා නම් මම ඒක හරියට කරනවා. දැන් බලන්න මෙතන (උමංදාව) කරලා තියෙන විදිහ, හදලා තියෙන විදිහ හොඳ නැද්ද? මෙතන තියෙන අඩුපාඩු කියන්න බලන්න. සුදුස්සාට සුදුසු තැන දෙන්න ඕනේ. බුදුහාමුදුරුවෝ පවා සංඝ සම්මේලනය පටන් ගත්තේ පස්දෙනෙකුගෙන්. ඒක පොසිටිව් (Positive) පැත්තෙන් දකින්න ඕනේ. මේ පොසිටිව් වයිබ් එක රට පුරා විහිදුවන්න ඕනේ, එහෙම නැති වුණොත් අපි මහා ගොබ්බ ජාතියක් වෙනවා

ලස්සනම කහ පාට කුරුල්ලාට සිවුරු හොරා කියනවා, ලස්සනම සුදු කුරුල්ලාට සුදු රෙදි හොරා කියනවා. ඔයාලා හැමදාම කළේ ලස්සන සහ වැඩක් කරන මිනිසුන්ට හොරා කියන එකයි. ඒ නිසා තමයි අද ඔයාලට කෙළවෙලා තියෙන්නේ. වැඩ කරන මිනිහාට ඉඩ දෙන්න, අපි වැඩ කරලා පෙන්වන්නම්. කෘෂිකර්මාන්තය වුණත් ගොඩනගලා පෙන්වන්න අපට පුළුවන්.”

Source : News 19

Leave a Reply

Your email address will not be published. Required fields are marked *