සති දෙකක් තිස්සේ ලංකාවේ මිනිස්සුන්ට පිහිට වූ ඉන්දීය වෛද්‍ය කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මෙරටට පැමිණ සති දෙකකට ආසන්න කාලයක් මෙරට ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකළ ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම අද (14) පස්වරුවේ කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් සිය මව්රටබලා පිටත්විය.

මෙරට ආපදාවට පත්ව සිටි ජනතාවට සේවය කිරීම සදහා පැමිණි මෙම ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ රජය වෙනුවෙන් කෘතඥතාවය පලකිරීමට ගුවන් තොටුපල වෙත ගිය අතර ඉන්දියානු නියෝජ්‍ය මහකොමසාරිස් Dr. Satyanjal Pandey මහතාද එම අවස්ථාවට එක්ව සිටියේය.

පසුගිය දිනවල මෙරටට බලපෑ දිට්වා සුළි කුණාටුව හේතුවෙන් ඇතිවූ ජල ගැල්මෙන් දැඩි හානියට පත් වූ මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර සේවාවන් පවත්වාගෙන යාම අඩපණවූ නිසා මහියංගනය සහ තදාසන්න ප්‍රදේශවල ආපදාවන්ට ලක්වූ ජනතාවට අවශ්‍ය වන ප්‍රතිකාර සේවාවන් විධිමත්ව ලබා දීමට 85 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායමක් පසුගිය දෙවනදා (02) මෙරටට පැමිණ මහියංගනය නගර මධ්‍යයේ විශේෂ ජංගම රෝහලක් ස්ථාපිතකර ප්‍රතිකාර සේවාවන් සිදුකරන ලදී.

මහියංගනය මූලික රෝහලේ ප්‍රතිකාර සේවාවන් අදියරෙන් අදියර යථාවත් කරන තුරු මෙම ඉන්දීය හමුදා වෛද්‍ය කණ්ඩායම එම ප්‍රදේශයේ ජනතාවට ප්‍රතිකාර සේවාවන් සිදුකරන ලද අතර ඔවුන් විසින් විශාල රෝගීන් ප්‍රමාණයකට ප්‍රතිකාර සේවාවන් ලබා දී ඇත.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය පිළිබද අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක, වෛද්‍ය පරිපාලන ලේඛාධිකාරී වෛද්‍ය අරෝෂ් විජේවික්‍රම යන මහත්වරු ඇතුළුව ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු සහ අදාළ රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු පිරිසක්ද එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *