ඉරාන ජනපතිට බුලත් දුන් ගයිදුට ඉරාන ජනපතිගේ අභාවය නිසා දෑසින් කදුළු එයි

ඉරාන ජනාධිපතිතුමා මත්තල ගුවන් තොටුපොළේදී සිංහල ක්‍රමයට බුලත් හුරුල්ලක්  දී පිළිගත්තේ මමයි.  හෙලිකොප්ටර් අනතුරකින්  එතුමා මියගිය බව දැනගත්තාම දරා ගන්න බැරි දුකක් දැනුණායැයි උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට  පැමිණි අවස්ථාවේ ඉරාන   ජනාධිපතිවරයා පිළිගත් ඇඹිලිපිටිය බෝධිරාජ විදුහලේ එකොළොස් හැවිරිදි ගයිදු කිත්න ද සිසුවා පැවැසීය.

ඇඹිලිපිටියේ සිට දුරකතනයෙන් සම්බන්ධ වෙමින් කිත්නද සිසුවා වැඩිදුරටත් මෙසේ ද කීය.

ඉරාන ජනාධිපතිතුමා පිළිගැනීමට මාව තෝරා ගත් බව දැනගත්තාට පසු මට කිව නොහැකි සතුටක් ඇතිවුණා. මට තිබුණේ එතුමා බුලත් හුරුල්ලක් දී සිංහල ක්‍රමයට පිළිගන්නයි. එතුමා ප්ලයිට් එකෙන් බැහැලා  එනකොට  මම බුලත් හුරුල්ලද්දී වැඳ එතුමා පිළිගත්තා.

බුලත් හුරුල්ලක් දී පිළිගන්නවාත් එක්කම එතුමා මගේ හිස අත ගා මා බොහොම  ආදරයෙන් සිප ගත්තා. එතුමා මේ විදිහට හිස අත ගා සිපගනීවි යැයි කියා කිසිසේත් බලාපොරොත්තු වුණේ නැහැ. එතුමාගේ රටේ භාෂාවෙන් මාත් එක්ක මොනවද කිව්වා. මේ කියපු දේවල් මට තේරුණේ නැහැ. මේක මගේ ජීවිතයේ අමතක නොවන සිද්ධියක් වේවි.

මම ඉස්කෝලේ ඇරිලා ගෙදර ආපු වෙලාවෙ ප්‍රේමා ආච්චි ඒ කියන්නේ මගේ තාත්තාගේ අම්මා කිව්වා පුතේ ඔයා බුලත් දී පිළිගත්ත ඉරාන ජනාධිපතිතුමා  හෙලිකොප්ටර්  අනතුරකින් මිය ගිහින් කියලා. ආච්චි අම්මාගේ මේ කතාව අහලා  මගේ හිතට  දරාගන්න බැරි තරම් ලොකු වේදනාවක් ඇතිවුණා. ඇස් දෙකට කඳුළුත් ආවා. අපේ ආගම අනුව එතුමාට මම නිවන් සුව ප්‍රාර්ථනා කරනවා යැයි ද සිසුවා කීය.

උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට ඉරාන  ජනාධිපතිවරයා මෙරටට පැමිණියේ පසුගිය අප්‍රේල්  24 වැනිදාය.

ඉරාන ජනාධිපතිවරයකු මෙරටට පැමිණියේ වසර 16කට පසුවය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *