හිටපු වෙළෙඳ ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව පවරා ඇති අල්ලස් නඩු 4ක් එකම අධිකරණයක විභාගයට ගත නොහැකි බවට විත්තිය ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් කොළඹ මහාධිකරණය ඊයේ (22) ප්‍රතික්ෂේප කළේය.
ඒ අනුව සතොස සේවකයන් සිය නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන සහ පෞද්ගලික කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර පවරන ලද නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විමසීමට කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා නියෝග කළේය.
අල්ලස් නඩු විශාල ප්‍රමාණයක් පවතින බැවින් කඩිනමින් ඒවා විභාග කර අවසන් කිරීමට පසුගිය සැප්තැම්බර් 22 වැනිදා සිට වෙනම මහාධිකරණයක් පිහිටුවන ලදි. ඒ අනුව ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහිව පවරන ලද අල්ලස් නඩු 4ක් එම අධිකරණයට යොමු කෙරිණි.
එයින් එක් නඩුවක් ඊයේ (22) විභාගයට ගත් අවස්ථාවේ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා විත්තිය වෙනුවෙන් මූලික විරෝධතාවක් දැක්වූයේය. මහාධිකරණ විනිසුරුවරයාගේ පළපුරුද්ද, අපක්ෂපාතීත්වය හෝ යුක්තිසහගතභාවය සම්බන්ධයෙන් විත්තිය ප්‍රශ්න නොකරන බව කියා සිටි නීතිඥවරයා, සාධාරණ නඩු විභාගයක් සඳහා වෙන් වෙන්ව අධිකරණ 4ක නඩු සලකා බැලීම කළ යුතු බව කියා සිටියේය. එකම විනිසුරුවරයකු ඉදිරියේ නඩු කිහිපයක් විභාගයට ගන්නා විට චූදිතයකුට සාධාරණ නඩු විභාගයක් පිළිබඳ නීත්‍යනුකූල අපේක්ෂාව බිඳවැටිය හැකි බව විත්තිය පෙන්වා දුන්නේය.
එම විරෝධයට එරෙහිව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා මහතා නීතිපතිවරයා වෙනුවෙන් කරුණු දැක්වීම කළේය. විත්තිය මෙවැනිම ඉල්ලීමක් විත්තිකරුට එරෙහිව පවරන ලද එච්සීබී 168/22 නඩුවක් සම්බන්ධයෙන් කළ බව පෙන්වා දූන් පැමිණිල්ල එය මේ අධිකරණ විසින්ම පසුගිය 16 වැනිදා ප්‍රතික්ෂේප කළ බව කියා සිටියේය. ඒ අනුව නියෝගය මේ විරෝධයට අදාළ කරගන්නා ලෙස ඉල්ලා සිටියේය. දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් මහතා එම නඩු හතර සමගාමීව වෙන් වෙන්ව පවත්වා ගෙන යෑමට තීරණය කළේය. සමූපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ ඇමැතිවරයා වශයෙන් කටයුතු කරමින් 2012දී සතොස ආයතනයේ සේවකයන් නිල රාජකාරිවලින් බැහැරව දේශපාලන කටයුතුවල යොදවා වැටුප් හා දීමනා ලෙස රුපියල් 86,47,224ක් ගෙවීමෙන් රජයට පාඩු කළ බවට චෝදනා කර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් නඩු පවරා තිබේ. සමූපකාර, අභ්‍යන්තර සහ වෙළෙඳ හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දුට අමතරව පී. එරාජ් ට්‍රියන්ත ප්‍රනාන්දු සහ කේ.එම්. මොහොමඩ් ෂාකීර් මහත්වරු මේ නඩුවේ සෙසු චූදිතයෝ වෙති.