මෙම මස 22 වැනි දින ජපානයේ පැවැත්වෙන ජාත්‍යන්තර ජූඩෝ තරගාවලිය සඳහා පිටත්ව යෑමට සුදානමින් සිටි ගම්පොළ ජාතික පාසලක ශිෂ්‍යයෙකුට සිසුන් විසි දෙනෙකුට අධික පිරිසක් විසින් පහරදී තිබේ.
පහරකෑමට ලක්වූ සිසුවා මේ වනවිට ගම්පොළ ශික්ෂණ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබන බව ඇත්ගාල පොලීසිය පවසයි.
මෙසේ රෝහල්ගත කර ඇත්තේ අදාළ පාසලේ දහය වසරේ ඉගෙනුම ලබන සිසුවෙකි.
මෙම පාසලේ 10 වසර පන්ති හතරක් පැවැත්වෙන අතර ඉන් පන්ති 02කම සිසුන් මෙම සිසුවාට පහර දී ඇති බව පැවසේ.
10 වසර පන්ති අතර කාලයක් තිස්සේ ගැටුමක් පවතින බවත් පාසල් පරිපාලනය ඒ සඳහා නිසි ක්‍රියාමාර්ගයක් නොගෙන ඇති නිසා එය විසඳී නොමැති බවත් පාසලේ දෙමාපියෝ පවසති.
රෝහල්ගත කර ඇති සිසුවා 10 වසර පන්තියේ ඉගෙනුම ලබන අතර A හා C පන්තිවල ළමුන් මෙසේ ඔහුට පහර දී ඇති බව අනාවරණය වී තිබේ.
පාසල තුළදී මෙම සිසුන් පහරකෑමට ලක්වූ සිසුවාට තර්ජනය කර ”එළියේ දී බලා ගමු” කියා පාසල නිමවී නිවසට යාමට ගම්පොළ බස් නැවතුම වෙත යමින් සිටි ඔහුට වෙනත් පාසලක් අසල දී මෙසේ පහර දී තිබේ.
මෙම සිද්ධිය පිළිබඳව පොලිසිය සිසුවාගෙන් ප්‍රකාශ ගෙන ඇති අතර එහිදී ප්‍රකාශ වී ඇත්තේ විස්සකට අධික ප්‍රමාණයක් තමාට පහර දුන් බවත් හත් දෙනකුගේ නම් තමා දන්නා බවත්ය.
පොලීසිය ඔවුන්ගෙන්ද ප්‍රකාශ ගැනීමට කටයුතු යොදා තිබේ.
මේ පිළිබඳව විදුහල්පතිනියගෙන් විමසීමට උත්සාහ කළද ඇය පාසල් දුරකථනයට හෝ ඇගේ පෞද්ගලික දුරකථනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.
තරගයකට යාමට සූදානම්ව සිටින මෙම සිසුවාට සිදුකළ පහරදීම පිළිබඳව පාසලේ ජූඩෝ භාර ගුරුවරයාගෙන් විමසූ අතර, ඔහු ප්‍රකාශ කළේ මෙය සුළු සිද්ධියක් බවයි.
රටේ වෙන දේවල් ප්රවෘත්තිවල නොදමා මෙවැනි සුළු සිද්ධියක් දැමීම ශාප ලැබිය යුතු වරදක් බව ද ඔහු සඳහන් කළේය.
පාසලේ දෙමව්පියන් පවසන්නේ දීර්ඝ කාලයක සිට සිසුන්ගෙන් ඇතිවෙන මෙවැනි ප්‍රශ්න ගැටලු විසඳීමට පාසලේ ගුරුවරු හෝ
පරිපාලනය කටයුතු නොකිරීම නිසා මෙවැනි තත්ත්වයක් ඇතිව තිබෙන බවය.
ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායකගේ උපදෙස් මත ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙනරත් කැකුලන්දර ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.