අනාගතයේදී කඩුගන්නාවේ ලොකු ව්‍යසනයක් ඇතිවිය හැකියි – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න

කඩුගන්නාව නාය යෑමේ අවදානම අවම කිරීම සඳහා දුම්රිය මාර්ගය හා මහා මාර්ගය ආශ්‍රිත අක්කර 400 ක පමණ පුළුල් ප්‍රදේශයක් නිරීක්ෂණයට ලක් කළ යුතු බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පවසනවා.

දුම්රිය මාර්ගය හා බස් මාර්ගය පිහිටි ගල මත ගොඩ නගා තිබෙන බැවින් ඒවා නාය යෑමේ අවදානමක් නොමැති වුවත් සමස්ත භූමියේ අස්ථාවර තැන්වල සිදුවන නාය යෑම් මෙම මාර්ගවල ශක්තිමත් භාවයට අයහපත් බලපෑමක් ඇති කරන බවද හෙතෙම සඳහන් කරනවා.

පුද්ගලයින් හය දෙනෙකුට මරු කැඳවමින් කඩුගන්නාව ගනේතැන්න ප්‍රදේශයේ නාය ගිය ස්ථානය නිරීක්ෂණය කිරීමට පැමිණීමෙන් පසු මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා මෙසේ ද ප්‍රකාශ කළා.

“දුම්රිය මාර්ගය ඉදි කිරීමේදී ගල් විදලා විශාල බිංගෙවල් හදලා තියෙනවා. ඊට අමතරව පිහිටි ගල මතින් බලන සිට කඩුගන්නාව දක්වා දුම්රිය මාර්ගය ගොඩනගත්දී කඩා දැමීමට සිදුවූ විශාල ගල් පහළ බෑවුමට දාන්න ඇති කියලා විශ්වාස කරන්න පුළුවන්. ප්‍රධාන මාර්ගයට ඉහළින් තිබෙන බෑවුමේ මේ ගල් රැඳිලා තිබිය හැකියි. ඉහළ බෑවුමේ තිබෙන්නේ පිහිටි ගලම කියලා විශ්වාස කරලා වැඩ කළොත් අපි අමාරුවේ වැටෙනවා. ඒ නිසා අපි මේ ප්‍රදේශය ඉතාම සූක්ෂම ලෙස අධ්‍යන්‍යය කළ යුතුයි. ගල් කැඩි කැඩී පිටුපස්සට කන්ද යනවා. ඒ ආකාරයට තමයි ස්වභාවික බෑවුම නිර්මාණය වෙන්නේ. අවාදානම් ගල් ස්ථාවර කරලා බෑවුම ආරක්ෂිත එකක් කරන්න ඕන.

මම 2012 දී කිව්වා ප්‍රධාන පාර ගිලා බැසීමේ අවදානමක් තිබෙනවා කියලා. මාර්ග සංවර්ධන අධිකාරිය කළේ මාර්ගයේ ඉරි තැලී ගිය ස්ථානවලට තාර දාලා වහන එකයි. ඒක සාර්ථක නැහැ. පාර යටින් කොන්ක්‍රීට් බැමි දාලා ස්ථාවර කරන්න ඕන. නැත්නම් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. දුම්රිය මාර්ගයට පහළින් තිබෙන බෑවුමේ තිබෙන ඇතැම් ගල්වල පැලුම් තිබෙනවා. නිවස හා වෙළෙඳ ස්ථානය මතට වැටී තිබෙන පාෂාණය වටා ගස්වල මුල් ගමන් කර තිබෙන බවක් දකින්න ලැබෙනවා. පිහිටි ගලේ ඇතිවන පිපුරුම් ඇතුළට ගස්වල මුල් ගමන් කරනවා. මේවා ක්‍රමයෙන් විශාල වෙත්දී පැල්ම ඈත්වෙලා මව් පාෂාණයෙන් කොටස් ගැලවී යනවා. ඒ ගැලවෙන අවස්ථාව අදද නැත්නම් අවුරුදු 100 කින් වෙයිද කියලා කියන්න බැහැ.

මේ ස්ථානයට ඉහළින් එවැනි තවත් විශාල ගලක් තිබෙනවා. මම යෝජනා කරන්නේ ඩ්‍රෝන මගින් මේ නිරීක්ෂණ කිරීම වඩාත් සුදුසු බවයි. කළින් නාය ගිය ස්ථානය මේ වනවිට ස්ථාවර කිරීමේ කටයුතු සිදු වෙනවා. ඒ කොටස සමස්ථයෙන් ගත්තොත් 3 % ක් වගේ කුඩා කොටසක්. දුම්රිය මාර්ගයේ කිලෝ මීටර් දෙකක පමණ ප්‍රමාණයක සහ මහාමාර්ගයේ කිලෝ මීටර් 2 1/2 ක පමණ ප්‍රමාණයක ස්ථාන කිහිපයක තමයි මේ අවධානම තිබෙන්නේ. මහමාර්ගයට පහළින් ඇති බෑවුම ගැනත් විශේෂයෙන් සොයා බැලිය යුතුයි. නාය ගිය ස්ථානයේ සිට මහනුවර දෙසට කිලෝ මීටරයක පමණ දුරින් බෑවුම දෙසට වන්නට ගිලා බැසීමක් දකින්න ලැබෙනවා.

පැලැස්තර විසඳුම් ලබා නොදී මේ සම්බන්ධව නිසි අධ්‍යයනයක් කළ යුතුයි. අද තාක්ෂණය ඉතා දියුණුයි. ඒ නිසා ස්ථාවර පිළියම් යෙදිය හැකියි. ප්‍රධාන මාර්ගයට ඉහළින් ඇති කොටසේ පස් අඩුයි. ගල කැඩි කැඩී යන එක තමයි දකින්න ලැබෙන්නේ. මේවා ෆික්ස් කරන්න අවශ්‍යය තාක්ෂණය අද‍ ලෝකයේ තිබෙනවා.

මේ බෑවුම ආශ්‍රිත මිනිස් ක්‍රියාකාරකම් වහාම නතර කළ යුතුයි. ව්‍යාපාරික ස්ථාන පුළුල් කිරීම සඳහා කරන අනවසර ඉදි කිරීම් වගේම වාහන සේදීම සඳහා නළ මගින් අධි පීඩනය යටතේ ජලය ලබා ගැනීමත් ලොකු ප්‍රශ්නයක්. බෑවුම් කොටසේ වතුර පහළට එන ස්වභාවික ජල කදුරු තිබෙනවා. වැඩි පීඩනයක් යටතේ ජලය පහළට ගැනීම සඳහා ඇතැම් පුද්ගලයින් මේ ජල කදුරු හරස් කරනවා.

මේ නිසා ජලය ගලා යන ස්වභාවික මාර්ගය වෙනස් වෙනවා. මේ ජල පහරවල් නිසා පසේ ඇතිවන මඩ සහිත ස්වභාවයත් සමඟ අධික වර්ෂාවත් ඇති වුණාම මව් පාෂාණයෙන් බිඳෙන පාෂාණ කොටස් බෑවුම දෙසට ගල් තල්ලු වෙනවා. මිනිස්සු නීතියට අවනත නොවෙනවා නම් නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් පොදු ජනතා යහපත පිණිස තීන්දු තීරණ ගත යුතුයි. නැත්නම් මෙයට වඩා ලොකු ව්‍යසනයක් අනාගතයේදී කඩුගන්නාවේ ඇතිවිය හැකියි.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *