ආදරවන්තයින්ගේ දවසේ කලාවැවෙන් ඇසෙන වියපත් නොවූ ආදර අන්දරයේ කතාව

අද පෙබරවාරි 14 වෙනිදා. ලෝකයම අද පෙම්වතුන්ගේ දිනය සමරනවා. එවැනි වටපිටාවක තම ජීවන ගමන සතුටින් ගෙන යන කයින් වියපත් වුවත් හිතේ ආදරය පිරුණු ආදරණීය යුවළක් අපට හමු වූයේ කලාවැව, අවුකන, කොටගල ප්‍රදේශයෙනි.

වයස අවුරුදු අසූ එකක් වූ එන්. ජී. ජී. විජේසිංහ මහතාත්, වයස අවුරුදු හැත්තෑ හතරක් වූ බී. ආර්. හීන් මහත්මියත් විවාහ දිවියට ඇතුළු වන්නේ මීට දශක පහකට පමණ පෙරයි. දහසක් බලාපොරොත්තු ඇතිව විවාහ ජීවිතය ඇරඹූ මේ දෙදෙනා සැම විටම ගත කළේ සාමකාමී ජීවිතයකි. විවාහ දිවිය අරඹන සැමගේ ඊළඟ ප්‍රාර්ථනය වන්නේ කිරි සිනා පිරි දරු පැටියකු තම කැදැල්ලට එක් කරගැනීමයි. මේ ප්‍රාර්ථනය විජේසිංහටත් හීන්ටත් එදා එලෙසම දැනුණි. එහි ප්‍රතිඵලයක් ලෙස දරුවන් හය දෙනකුට මෙලොව එළිය දෙන්නට ඔවුහු වාසනාවන්ත වූහ. මෙලොව එළිය දුටු දරුවන්ගේ හෙට දවස ලස්සන කරන්නට ද මේ දෙදෙනා කිසි විටෙක අමතක කළේ නැත. දරුවන්ගේ ඕනෑ එපාකම් ඉටු කරමින් ඔවුන් යහපත් ලෙස සමාජගත කරන්නට ද ඒ අනුව මේ දෙපළට හැකියාව ලැබුණි. එලෙස දරුවන්ගේ හෙට දවස ලස්සන කළ මොවුන් දෙදෙනා අද නිවෙසේ තනිවම ගෙවන ජීවිතය කාටත් ආදර්ශයකි.

මෙතෙක් ආ තම ජීවන ගමනේ සාර්ථකත්වයට හේතු හීන් දැක්වූයේ මෙලෙසිනි.

“ආදරය කවදාවත් මහලු වෙන්නේ නෑ. ආදරය කර විවාහ වෙලා ඒ ආදරය නොඅඩුව ලබන්නට දෙදෙනාම දෙදෙනාට ගෞරව කරන්න ඕනෙ. එහෙම වුණාම ජීවිතයේ අඩුවක් දැනෙන්නේ නෑ. කවුරු නැතත් දෙන්නට දෙන්නා ඉන්නවානේ කියලා හිතෙනවා. පොඩි පොඩි හිත් රිදීම් වෙනවා. හැබැයි ඒවා ඒ වෙලාවට විතරයි. පොඩි පොඩි ප්‍රශ්නත් එක්ක ගෙවූ ජීවිතයත් හරි ලස්සනයි. දරුවන්ගේ හැම වැඩක්ම කළේ අපි දෙන්නා එකතු වෙලා. මායි මහත්තයයි වැඩ බෙදාගෙන කළේ නෑ. එන විදියට මුහුණ දුන්නා. කොයිම වෙලාවකවත් මම මහත්තයාට ඉහළින් ගියේ නෑ. හැමදේම කළේ මහත්තයාගෙන් අහලා. මහත්තයත් මගෙන් අහලා වැඩ කරන අවස්ථා තිබුණා. නැතිබැරිකම් තිබුණා. ඒත් ඒවා ගැන එච්චර හිතුවෙ නෑ. නොලැබෙන දේට වඩා ලැබුණු දේ සතුටින් භාර ගත්තා.

දැන් අපි හිටිය කාලෙ වැඩියි. ඉන්න කාලේ අඩුයිනේ. ඒ හින්දා පිනක් දහමක් කරගෙන සසර ගමන කෙටි කර ගන්න මාර්ගයේ යන්න ඕනෙ. හැමදාම මගේ ළඟින්ම හිටිය මහත්තයා මට කිසිම අඩුවක් දැනෙන්න දුන්නේ නෑ. මාව රැක ගත්ත හැටි දන්නේ උඩ ඉන්න දෙවියන් විතරයි. මගෙ මහත්තයට හොඳට සින්දු කියන්න පුළුවන්. අපි දෙන්නගෙ තනිකම මැකෙන්න මහත්තයා ලස්සනට සින්දු කියනවා. අදටත් එහෙමයි.”

විජේසිංහත් තම හඬ අවදි කළේ මෙලෙසිනි.

“හැමදාම බුදුන් වැඳලා මගේ කකුල් දෙක අල්ලා වඳින පුරුද්ද එදා ඉඳලාම මගෙ නෝනට තිබුණ පුරුද්දක්. ඒ ගැන මට හරි ආඩම්බරයි. ජීවිතයේ දුක් කරදර මැද දරුවන් හය දෙනෙක් හදලා, උගන්වලා එයාලට යන්න ඕනෙ පාර පෙන්නුවා. අද අපි දෙන්නා කිසිම දරුවකුට බරක් නොවී ජීවත් වෙනවා. අපි දෙන්නා එක වහලක් යටට ආ දා ඉඳලා අද වෙනකල්ම කෑම ටික කන්න ගන්නේ එකට ඉඳගෙන. මම කොහේ හරි ගිය දවසට මම එනකල් නෝනා කන්නෙ නෑ. මම එනකල් බලාගෙන ඉන්නවා. දරුවන්ගේ වැඩ නෝනා හරි ලස්සනට කළා. වෙලාවකට මට කරන්න දෙයක් තිබුණේම නෑ. එච්චරකට පිළිවෙළයි.

උපදින මතු ආත්මවල අපි දෙන්නා මේ විදියටම හම්බවෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නේ නෑ. අපි දෙන්නගෙ ප්‍රාර්ථනය මේ සසර ගමන ඉක්මනින් කෙළවර කරගැනීමයි. අද සමාජයේ අහන දකින දේවල් දැක්කාම කලකිරෙනවා. ආදරය කරන කෙනකුට වෛර කරන්න බෑ. ආදරය කරන කෙනා තමන්ට ලැබුණෙ නැතත් එයා සතුටින් නම් ඒ ඇති. අපි එහෙම හිතන්න ඕනෙ.”

3 2 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *